11 දෙනෙකුට මරු කැඳවූ අනතුරේ බස්රිය පෙරළුණේ දුන්නක් කැඩීමෙන් – රියැදුරා 24 තෙක් රිමාන්ඩ්

මඟීන් 11 දෙනකුට මරු කැඳවමින් හා 41 දෙනෙකුට තුවාල සිදුකරමින් පෙරේදා (09) රාත්‍රී කාලයේ දී මනම්පිටිය කොටලීය පාලම මතින් පෙරළුණු මඟී බස් රථ අනතුරට හේතුව අධික වේගය මෙන්ම බස් රථයේ දුනු කොළයක් කැඩීයාම බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අධික වේගයෙන් බස් රථය ධාවනය කිරීමේ දී මාර්ගයේ ඇති රැලි හේතුවෙන් බස් රථය උඩ පල්ලම් යමින් ගමන්කර ඇති බවත් පාලම අසල දී දුනු කොළ කැඩී ගොස් ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. දුනු කොළ කැඩුණු බස් රථය එහි වේගය නිසා රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව පාලම මතින් ඔයට පෙරලී ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවත් මෝටර් රථ පරීක්ෂක මඟින් ද විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසයි.

බස් රථයේ රියැදුරු බස් රථය අධික වේගයෙන් අපරික්ෂාකාරීව ධාවනයකර ඇති බැවින් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලින් මේ වන විටත් තහවුරු වී ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

එසේ අත්අඩංගුවටගත් සන්දිවේලි හි පදිංචිකරුවෙක් වන නඩරාජා විනෝද් රාජ් (40) නමැති රියදුරු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (10) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

මෙම අනතුරින් මියගිය අය අතර කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පිරිමි පුද්ගලයන් 09 දෙනෙක් සිටින බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් මිය ගිය අය අතර, නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් ද සිටිති. ඔවුන් කදුරුවෙල සිට කල්මුණේ දක්වා ගමන් කරමින් සිට ඇත. මියගිය අයගෙන් පස්දෙනෙකුගේ සිරුරු ඊයේ සවස්වන විට හඳුනාගෙන තිබුණු අතර, සෙසු මළ සිරුරු හඳුනා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් තිබුණි. එතෙක් මළ සිරුරු පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇත.

මෙම බස් රථ අනතුරෙන් මියගිය ඇතැම් අයගේ තොරතුරු මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවත්, එම අයවලුන්ගේ ජාතික හැඳුනුම්පත් සහ ජංගම දුරකතන මෙන්ම ගමන්මලු මනම්පිටිය කොටලීය ඔයට වැටී තිබීම ඊට හේතුවක් බව ද පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.

තුවාලකරුවන් අතර බරපතළ තත්ත්වයේ කිහිප දෙනකු සිටි බවත්, ඒ අය පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිසිය සඳහන් කළේය. බස් රථය පාලම අසලට පැමිණෙනවාත් සමඟ විශාල ශබ්දයක් බස් රථයේ යට කොටසින් ඇසුණු බව තුවාල ලැබූ අය මෙන්ම තුවාල නොලබා සිටින බස් රථයේ ගමන් කළ මඟීන් පවසා තිබේ. බස් රථය රියදුරුගේ ග්‍රහණයෙන් මි දී එකවරම පාලම මතින් ඔයට පෙරළී ඇත්තේ ඒ සමඟය.

මෙම බස් රථය අනතුරට ලක්වන විට මඟීන් 50කට වැඩි පිරිසක් ගමන් කරමින් සිට ඇති බව පොලිසිය කියයි. මඟීන්ගෙන් ආසන පිරී තිබී ඇති අතර, 20ක පමණ පිරිසක් සිටගෙන ගමන් කරමින් සිට ඇති බව ද අනාවරණය වී තිබේ.

මෙම පෞද්ගලික බස් රථයට උතුරු මැද පළාත් මාර්ගවල ධාවනය කිරීම සඳහා මාර්ගස්ථ බලපත්‍රයක් නොමැති බව ද පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබ පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ගමන්මලු සහ ජංගම දුරකතන කිහිපයක් මෙහෙයුම් දියත් කළ යුද හමුදාව, පොලිස් නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ගොඩටගෙන පොලිසියට බාර දුන් බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමක දී කීහ.

පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල සහ මනම්පිටිය අතර මෙවැනි අනාරක්ෂිත පටුපාලම් දෙකක් පිහිටා තිබෙන අතර, එම පටුපාලම් දෙකෙන් පසුගිය කාලවල දී බස්රථ, යතුරු පැදි මෙන්ම වාහන විශාල වශයෙන් අනතුරට ලක්ව මිනිස් ජීවිත අහිමි වී ඇති බවත්, මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන එම පටු පාලම් දෙක ඉතා කඩිනමින් පුළුල් කර මෙම ප්‍රධාන මාර්ගයේ ගමන් කරන ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදෙන ලෙස රියැදුරන් මෙන්ම මඟී ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති

Werzuo Digital

Leave a Reply