දකුණු ආසියාවේ විශාලතම වෙළෙඳ හා සැපයුම් මධ්‍යස්ථානය කොළඹ වරායේ පිහිටුවීමට පියවර

දකුණු ආසියාවේ විශාලතම වෙළෙඳ හා සැපයුම් මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා චීන මර්චන්ට් හෝල්ඩින් සමාගම, ඇක්සස් ඉංජිනියරිං සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඊයේ (21) ඓතිහාසික ගිවිසුමකට ඇතුළත් විය.

මේ ව්‍යාපෘතියේ මුළු ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වන අතර, මේ මඟින් ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි වීමක් අපේක්ෂා කෙරේ.

ඊයේ අත්සන් කරනු ලැබු මේ ආයෝජනය කොවිඩ් වලින් පසු ලැබුණු විශාලතම ආයෝජනය බව වරාය, නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මෙහිදී ඇමැතිවරයා අදහස් දක්වමින් අපේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට උදවු කිරීම සම්බන්ධයෙන් චීන රජයට ස්තුතිය පළ කළේය. මේ ආයෝජනය රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව ක්‍රියාත්මක කරන්නකි. ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරන්නේ වසර 50කට පසුවයි.

ව්‍යාපෘති සඳහා චීන මර්චන්ට් හෝල්ඩින් සමාගම 70%ක් මුදල් ආයෝජනය කරන අතර, 15%ක් ලක් රජය හා ඇක්සස් ඉංජිනියරිං සමාගම මුදල් යොදවයි.

චීන සමාගමේ සභාපති Miao Tianmin මහතා අදහස් දක්වමින් කියා සිටියේ තම සමාගම වසර වසර 2019දී කිසිවකු ඉදිරිපත් නොවූ අවස්ථාවක සී.අයි.සී.ටී. ජැටිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදල් ආයෝජනයක් කළ බවයි. ඉදිරියේදීද ශ්‍රී ලංකාවේ මෙවැනි ආයෝජන කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් කීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කීත් ඩී. බර්නාඩ් මහතා අදහස් දක්වමින් ව්‍යාපෘතිය මේ වසර අවසන් වන විට ගුවන් පාලම් මාර්ගය ඔස්සේ බණ්ඩානායක ගුවන් තොටුපොළද සම්බන්ධ කරගෙන කටයුතු කරන බව කීවේය.

මේ ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව අමෙරිකානු ඩොලර් මිලියන 126ක මුදලක් මුලින් තැන්පත් කරන අතර, තව මිලියන 126ක ගෙවීමක් කර ඇත. මේ ව්‍යෘපෘතියෙන් ඍජු රැකියා 1800ක්ද වක්‍රාකාර රැකියා 10,500ක් ලැබීමට නියමිතයි.

මින් බහලු හැසිරවීමේ ධාරිතාව වැඩි වන අතර, අනෙකුත් ජැටිවලටද උපකාරයක් ලැබේ. අන්තර්ජාතික වෙළෙඳාම නැංවීම සඳහා මේමගින් සියලුම පහසුකම් ඇති කෙරේ.

ඇක්සස් ඉංජිනියරින් සමාගම වරාය සමඟ වසර ගණනාවක සිට කටයුතු කරන බව එම සමාගමේ සභාපති සුමල් පෙරේරා මහතා මෙහිදී කීය.

Werzuo Digital

Leave a Reply