සංචාරක වීසා මත ඇවිත් ඉන්න ඇතැම් රුසියානුවන් ඩොලර් කොල්ලයක

සංචාරක වීසා මත මෙරටට පැමිණෙන ඇතැම් රුසියානුවන් විදේශීය සංචාරකයන්ට ප්‍රවාහන හා නවාතැන් ඇතුළු සේවා සපයමින් ඩොලර් කොල්ලකෑමක නිරත වන්නේ යැයි උණවටුන හෝටල් සංගමය චෝදනා කරයි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් අති බහුතරය රුසියානුවන් යැයිද එසේ පැමිණ මෙවැනි අයථා ක්‍රියාකාරකම්වල නිරතවීම බරපතළ තත්ත්වයක් වුවත් බලධාරීන්ගේ අවධානය ඊට යොමු වී නැතැයි එම සංගමයේ ලේකම් සුමිත් උබේසිරි මහතා පවසයි.

උණවටුන වෙරළ තීරයේදී පෙරේදා (07) පස්වරුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කර තිබේ.

 “සංචාරක කර්මාන්තයේ යම් වර්ධනයක් තියෙනවා. රුසියානු සංචාරකයන්ගේ යම් පිබිදීමක් තියෙනවා. උණවටුන සංචාරක කලාපයට පැමිණි විදේශීය සංචාරකයන් අතරින් සියයට 90ක් විතර ඇවිත් ඉන්නේ රුසියානු සංචාරකයන්. ඒ අයගෙන් බොහෝමයක්ම මුදල් වියදම් කරන්න ආපු අය නොවේ.”

“වෙළෙඳසල්වලට ගොස් කෑම බීම ගෙනැල්ලා උයාගෙන කනවා. අඩුවෙන් තමයි වියදම් කරන්නේ. ඇතැමුන් මෙරට සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන්ගේ සේවාවන්ද හොර රහසේම පවත්වාගෙන යනවා. ඇතැම් රුසියානුවන් විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ කටයුතුවලද නිරතව සිටිනවා. මේ නිසා ත්‍රිරෝද රථ රියැදුරන්ට පවා මුදලක් හොයා ගන්න අපහසු වෙලා තියෙනවා. ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න අවශ්‍ය වන්නේ සංරක්ෂණය කිරීම, නියාමනය කිරීම සහ හොඳින් අධීක්ෂණය කිරීම යන කටයුතුවලිනුයි.”

යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ.

Werzuo Digital

Leave a Reply