මවු කිරිවල තිබි මයික්‍රෝ ප්ලාස්ටික් හමුවෙයි

මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක ඇති බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් බිය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය . මවු කිරිවලින් ප්ලාස්ටික් විෂ හමුවුණු පළමු අවස්ථාව මෙය බව ද එම වාර්තාවේ සදහන්ය.

ඉතාලියේ නිරෝගී මවුවරුන් 34 දෙනකුගෙන් ලබා ගත් මවු කිරි සාම්පල විශ්ලේෂණය කළ අවස්ථාවේදී ඉතාලි පර්යේෂකයන් මේ බව අනාවරණය කරගෙන ඇත. පර්යේෂණය සඳහා තෝරාගත් මෙම මවුවරුන් 34 දෙනා, දරු ප්‍රසූතිය සිදුවී සතියක් ගත වුණු මවුවරුන් බව ද ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ සදහන් කර තිබේ.

“ප්ලාස්ටික් විෂ ජීවීන්ගේ සිරුරුවලින් හමුවීම බිහිසුණු තත්ත්වයක්. ඒවා සෛලවලට බලපානවා. පිළිකා ඇති කරනවා. මවු කිරිවල ප්ලාස්ටික් විෂ තිබීම කොතරම් බිහිසුණු තත්ත්වයක් දැයි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ” යැයි පර්යේෂණයට සම්බන්ධ වූ ඉතාලි විද්‍යාඥයෝ පැහැදිලි කර තිබේ.

මයික්‍රෝ-ප්ලාස්ටික් (ක්ෂුද්‍ර-ප්ලාස්ටික්) ලෙස හැඳින්වෙන්නේ මිලිමීටර් 5 ට අඩු දිගකින් යුත් ප්ලාස්ටික් අංශුය. පළමුවෙන් මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක හමුවූයේ සාගර ජීවීන්ගෙනි. ඒ, ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුලව සාගරයට බැහැර කරන බැවිනි මේ වනවිට ප්ලාස්ටික් විෂ පරිසරය දූෂණය කර අවසන්ය.

ඉන්පසු කෙමෙන් කෙමෙන් ගොඩබිම වෙසෙන ජීවීන්ගේ සිරුරුවලින් ද මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක විද්‍යාඥයන්ට හමුවී ඇත.

මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් අඩංගු බව තහවුරු වීමෙන් පෙනී යන්නේ මනුෂ්‍යයන්ගේ සිරුරුවල ද ප්ලාස්ටික් විෂ අඩංගු වන බව යැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply