අනාරක්ෂිත ලෙස නිවෙසේ පෙට්‍රල් ගබඩා කිරීම හේතුවෙන් එයින් හට ගත් ගින්නකින් වයස අවුරුදු 9ක කුඩා පිරිමි දරුවකු දැඩි ලෙස පිලිස්සී මිය යෑමේ සිදුවීමක් ඊයේ (4) හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.
හෙම්මාතගම ගිනිහප්පිටිය ප්‍රදේශයේ සිදුවූ මෙම සිද්ධියෙන් මිය ගොස් තිබුණේ හෙම්මාතගම කෑ/මාව බාලිකා මහා විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ 4 වසර පන්තියේ ඉගෙනුම ලබන දරුවන් තිදෙනකු සහිත පවුලක බාල පිරිමි දරුවාය.
අනතුර සිදු වන අවස්ථාවේ නිවෙසේ සිට ඇත්තේ වයෝවෘද්ධ මවක් පමණි. උදෑසන විදුලි බලය විසන්ධි වූ අවස්ථාවේ එම වයෝවෘද්ධ කාන්තාවගෙන් ගිනි පෙට්ටියක් ඉල්ලා ඇති මෙම දරුවා අදිෂ, එය රැගෙන කාමරය වෙත ගොස් ඇති බවද මේ වන විට කරුණු අනාවරණය වී ඇත.
එම කාමරයේ දින ගණනාවක් තිස්සේ ගබඩා කර තිබූ පෙට්‍රල් නිසා ක්ෂණිකව ගින්න හට ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. එහිදී දරුවා තමා සිටි ඇඳ මත ගින්නෙන් ගැලවීමට දැඩි උත්සාහයක් දරා ඇති අතර කෑ ගසන්නටද ඇතැයි පොලිසිය කීය. නමුත් වයෝවෘද්ධ මව නිවෙසේ වෙනත් ස්ථානයක රැඳී සිටීම නිසා දරුවාගේ ජීවිතයට හානි වන තෙක්ම එය කිසිවකුටත් නවතා ගැනීමට නොහැකි වී තිබිණි.
පසුව ප්‍රදේශවාසීන් පොලිසිය හා එක්වී නිවෙසේ ගින්න නිවා දැමුවත් නිදි යහනේම දරුවා මිය ගොස් තිබිණි.
පවතින ඉන්ධන අර්බුදය නිසා දුර දිග නොබලා නිවෙස්වල මෙලෙස ඉන්ධන ගබඩා කිරීමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුවී ඇති බව වාර්තාවේ.
පොලිස් පරීක්ෂණ සිදු වෙමින් පවතින අතර මිය ගිය කුඩා දරුවාගේ දේහය හෙම්මාතගම රෝහල වෙත රැගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇත.
මව්බිම
