අසරණ විදී සතුන්ට දිනපතා ආහාර ලබාදෙන උතුම් මිනිසා

අසරණ සතුන්ට ඉමහත් ආදරයක් දක්වමින් දිනපතාම සහල් කිලෝ 08ක බත් උයා තම යතුරුපැදියෙන්ම රැගෙන ගොස් එම සතුන්ගේ කුසගිනි නිවන අයෙක් වෙන්නප්පුව බෝතලේගම සිටී.

ගරුසිංහ දේවගේ සෝමවීර ජයනන්ද (65) වන ඔහු බෝතලේගම, ලුණුවිල නිවෙසේ ජීවත්වෙයි.

වසර 22ක කාලයක් ඉතාලියේ රැකියාවල නිරතව සිට මීට වසර 10කට පමණ පෙර ඔහු මෙරටට පැමිණියේය. එකම විනෝදාංශය දුගී දුප්පත් අසරණ තිරිසන් සතුන්ගේ කුසගින්න නිවාදැමීමයි.

ජයනන්ද මහතාගේ මේ උතුම් පුණ්‍යක්‍රියාව ප්‍රදේශවාසී ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට හේතුකාරක වී ඇති අතර ඔහු මේ සම්බන්ධව මාධ්‍යයට මෙසේ තම අදහස් ප්‍රකාශ කළේය.

“මනුෂ්‍යයන් වන අපට බුද්ධියක් තියෙනවා ඒක අප ලද වාසනාවක්. අපට යමක් කතා කරන්න පුළුවන්. කන්න නැතිනම් කාගෙන් හෝ ඉල්ලා ගන්නත් පුළුවන්. නමුත් ඒ වාසනාව නොලැබ මෙලොව බිහිවී සිටින අසරණ අහිංසක තිරිසන් සතුන් ගැන බුද්ධිමත් අප මොහොතක් හෝ සිතන්න ඕනෑ. මම වසර 22ක් ඉතාලියේ සේවය කරන කාලයේදීත් ඉතාලියේ කලා කටානියා ප්‍රදේශයේ පදිංචිව සිටියදී දිනපතාම පරවියන්ගේ කුසගින්න නිවන්න මම වෙහෙසුණා. යළි ලංකාවට පැමිණිදා සිටම ප්‍රදේශයේ බොහෝ ස්ථානවල කුසට අහරක් නොමැතිව සිටින බල්ලන් බළලුන්ගේ කුසගින්න නිවීම දැන් මගේ විනෝදාංශය වෙලා. දැනට බල්ලන්, බළලුන් 75ක් පමණ මගේ දරුවන් වගෙයි.

අලුයම අවදි වී තම ආදරණීය බිරිය හා එක්ව මේ අසරණ අහිංසකයන්ගේ කුසගින්න නිවීමට වෙහෙසෙන ජයනන්ද මහතා කිරිමැටියාන, බෝතලේගම, ලුණුවිල, කොස්වත්ත, තුලාවල හා ඒ අවට ස්ථාන රැසකට ගොස් සතුන්ට කෑම දෙයි. අසරණ සතුන් දිනපතා උදේ සවස ඔහු එනතෙක් මඟ බලා සිටිති.

තමා ජීවත්ව සිටිනතාක් කල් මෙම පුණ්‍ය කටයුත්ත නොකඩවාම කරන බව ඔහු පැවැසීය.

මව්බිම

 

Werzuo Digital

Leave a Reply