තම කැබ් රථයෙන් ගොස් රුපියල් අසූ දහසක් පමණ වටිනා රොක් වයලට් වර්ගයේ බල්ලකු පැහැර ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයකු මේ මස 22 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කැකිරාව වැඩබලන මහෙස්ත්‍රාත් උදිත ඒකනායක මහතා නියෝග කළේය.
කටියාව යාය 6 ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මෙසේ රිමාන්ඩ් කර ඇත.
ඉපලෝගම හල්මිල්ලෑව පාර, මානෑව පදිංචි පුද්ගලයකු විසින් ඉපලෝගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා මෙම සැකකාර ව්‍යාපාරිකයා සහ ඔහු විසින් සොරා ගන්නා ලද බව කියන රුපියල් අසූ දහසක් පමණ වටිනා රොට් වයලර් වර්ගයේ සුනඛයා සොයා ගැනීමට ඉපලෝගම පොලිසිය සමත්ව තිබේ.
මීට මාස දෙකකට පමණ පෙර මෙම සැකකාර ව්‍යාපාරිකයා විසින් පැමිණිලිකාර අයගෙන් රුපියල් හැත්තෑ දහසක් ගෙවා වෙනත් සුනඛයකු මිලදීගෙන ඇති අතර පැමිණිලිකරු සතුව තවත් සුනඛයන් සිටින බව දැනගත් සැකකාර ව්‍යාපාරිකයා මෙම රොක් වයලට් වර්ගයේ සුනඛයා පැහැර ගැනීමට සැලසුම් කර ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී තිබේ.
පසුගිය දිනෙක අලුයම දෙකයි තිහට පමණ සැකකාර ව්‍යාපාරිකයා ඔහුට අයත් කැබ් රථයෙන් පැමිණ ඉතා සූක්ෂමව රොක් වයලට් වර්ගයේ සුනඛයා ආරක්ෂිතව තබා තිබූ කූඩුවේ කම්බි කපා මෙම සොරකම සිදුකර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
මව්බිම