අන්තර්ජාලයේ ළමයින්ගේ අසැබි වීඩියෝ ඉවත් කරන්න වෙබ් අඩවියක්

ළමයින්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධ පැමිණිලි භාර ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නව වෙබ් අඩවියක් හඳුන්වා දී ඇත.

මෙම ක්‍රමවේදය හරහා ලැබෙන පැමිණිලි, ලොව ප්‍රමුඛතම අන්තර්ජාල ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ආයතනයක් වන එංගලන්තයේ ඉන්ටර්නෙට් වොච් ෆවුන්ඩේෂන් (Internet Wach Foundation – IWF) ආයතනය වෙත යොමු කෙරෙන අතර එමඟින් අදාළ වීඩියෝ දර්ශන සහ ඡායාරූප කඩිනමින් ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ පැවසීය.

ඒ සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ IWF ආයතනය අතර ගිවිසුමක් ද අත්සන් තබා තිබේ.

මෙම වෙබ් අඩවිය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28 වැනිදා) එළිදක්වා ඇත. ඒ අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ www.childprotection.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස, අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන, මෙරට දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන සහ ඡායාරූප පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

පැමිණිලි ලැබීමෙන් පසු, ජාතික ළමා ආරක්ෂක අධිකාරයේ සම්බන්ධීකරණයෙන් IWF සංවිධානය විසින් අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන අතර සැකකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ද සභාපතිවරයා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 2778911 දිගු අංක (269) ඔස්සේ නීතිය බලාත්මක කිරීමේ අංශය අමතා හෝ www.childprotection.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

Werzuo Digital

Leave a Reply