පොල් කිරි අපනයනයෙන් කෝටි 290ක ආදායමක්

පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

මහ බැංකුවේ මාසික පදනම යටතේ නිකුත් කරන අපනයන පිළිබඳ වාර්තාව අනුව පෙබරවාරි මාසයේ පොල් කිරි මෙට්‍රික් ටොන් 6739ක් අපනයනයෙන් මෙම මුදල උපයා තිබේ.

2023 පෙබරවාරි මාසයේ පොල් කිරි මෙට්‍රික් ටොන් 4366ක් අපනයනය කර රුපියල් මිලියන 2401ක ආදායමක් උපයා ඇතැයි ද පොල් සංවර්ධන අධිකාරිය කියයි.

අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය අනුව 2023ට වඩා 2024 පෙබරවාරි මාසයේ මෙට්‍රික් ටොන් 2373ක් ඉහළ ගොස් ඇති අතර අපනයනය මගින් ලද ආදායම ද රුපියල් මිලියන 570කින් වර්ධනය වී තිබේ.

පසුගිය වර්ෂයේ දීර්ඝ නියඟය සහිත කාලගුණික තත්ත්වයකින් පසු ලද වැස්ස නිසා පොල් ඵලදාව ද ඉහළ ගියේය. 

2023 නොවැම්බර් මාසයේ සියයට 22ක්, දෙසැම්බර් සියයට 05ක්, 2024 ජනවාරි මාසයේ සියයට 18ක් සහ  පෙබරවාරි මාසයේ සියයට 25කින් මෙරට පොල් නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙන බව අධිකාරිය පවසයි.

2023 වර්ෂයේ සමස්ත පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000 ඉක්මවා ගොස් ඇති අතර කර්මාන්ත සදහා වෙන් කළ පොල් ප්‍රමාණය ගෙඩි මිලියන 1380කි.

කෙසේ වුවද පොල් අපනයනය මගින් ලද ආදායම මෙම වර්ෂයේ ඩොලර් බිලියනයක් දක්වා ප්‍රථමවරට ඉහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය

Werzuo Digital

Leave a Reply