ටයිටැනික් නැව ගිලී වසර 111 යි

ඉතිහාසයේ කදුළු කතාවක් සටහන් කළ ටයිටැනික් නැව ගිලී සිදුවු ඛේදවාචකයට අදට (15) වසර 111 ක් සපිරේ. 

1912 වසරේ අප්‍රේල් 15 වැනිදා එවකට ලොව තිබූ සුඛෝපභෝගීම සහ වේගවත්ම මගී නෞකාව වන ටයිටැනික් නෞකාව සිය මංගල ගමන යන අතරතුරදීය. අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේය.

දිගින් මීටර් 269 ක් සහ පළලින් මීටර් 28 ක් වූ ටයිටැනික් නෞකාව 1910 දශකයේ ලොව ඉදිකළ විශාලතම මගී නෞකාවද වේ.  වර්තමානයේ ලොව විශාලතම මගී නෞකාව වන MS Harmony of the Seas ටයිටැනික් නෞකාවට වඩා මීටර් 93ක් දිගින් යුක්තය.

1912 අප්‍රේල් 10 වන දින එක්සත් රාජධානියේ සවුත් හැම්ටන් වරායේ සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් දක්වා තම මංගල චාරිකාව ඇරඹූ අතර මෙම චාරිකාවට මගීන් 2224ක් සහභාගී වී සිටියේය. මෙම මගීන් අතර ලෝකයේ කෝටිපතියන් ලෙස සැළකිය හැකි ධනවතුන්ද රැසක් සිටි බව සදහන් වේ.

ටයිටැනික් නැව ගිලීයාම නිසා පුද්ගල මරණ 1514 ක් සිදු වූ අතර එය එකල ලොව විශාලතම සමුද්‍රීය ව්‍යසනය ලෙස සැළකේ.

ටයිටැනික් නැව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී නෞකාවක් වූ අතර පිහිනුම් තටාකයක්, සුපිරි පන්තියේ භෝජන ශාලාවක්, සහ සුඛෝපභෝගී කාමර ද ඇතුළත් විය.

කෙසේ වෙතත් නැව මත ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණේ 1178 දෙනෙකුට පමණක් වීම ටයිටැනික් ඛේදවාචකයෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වීමට හේතුවක් වුණා.

1912 අප්‍රේල් 14 වන දින තම ගමනාන්තයට දින හතරක් තිබියදී සහ නිව්යෝර්ක්වලට කිලෝමීටර් 375 ක් දුරින් තිබියදී ටයිටැනික් නැව අයිස් කන්දක ගැටී තිබේ.

අයිස් පරයේ ගැටීම නිසා පැය දෙකක් පමණ ඇතුළත නැව තුළට ජලය කාන්දු වූ අතර තවත් පැය දෙකකින් පමණ නැව දෙකට කැඩීම සිදුව තිබුණි. 

මෙම සිදුවීම් සියල්ල සිදුවන අතරතුර කාන්තාවන්ට හා දරුවන්ට ජීවිත රැක ගැනීමට මූලිකත්වය දෙමින් ඔවුන් ජීවිතාරක්ෂක බෝට්ටුවලට ගොඩ කෙරුණි. එමෙන්ම සුපිරි ධනවතුන්ටද මෙහිදී ජීවිතාරක්ෂක බෝට්ටු හිමි වූ බව සදහන් වේ. 

මුහුදු බත් වූ ටයිටැනික් නෞකාව 1985 වසරේදී සොයා ගැනීමට හැකි වු අතර ඒ වන විට එය අඩි දොළොස්දහස් හාරසිය පහළොවක් ගැඹුරු මුහුදේ තැන්පත්ව තිබුණි.

මෙම දැවැන්ත ඛේදවාචකය සිදුවීමෙන් පසු ටයිටැනික් අනතුර මුල්කරගනිමින් විවිධ කලා නිර්මාණ බිහි විය. 

මුහුදු බත් වූ ටයිටැනික් නෞකාවේ සැලසුම ලබන 22 වනදා යළි වෙන්දේසි කිරීමටයි සැලසුම් කර ඇති අතර ටයිටැනික් නෞකාවේ සැලැස්ම මීට පෙර 2011වසරේ දී පවුම් ලක්ෂ දෙකකට වෙන්දේසි කෙරුණි.

Werzuo Digital

Leave a Reply