නැගෙනහිරින් ලංකාවට පැමිණි අමුත්තා බටහිරින් පිටව යයි

දිවයින හරහා ගමන් කළ පීඩන අවපාතය, අඩු පීඩන කලාපයක් බවට දුර්වල වී ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කර අරාබි මුහුද දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර කාලගුණ අංශ පවසයි.

මේ අනුව එහි බලපෑම ද ක්‍රමයෙන් අඩුවන බව එම දෙපාර්තමේන්තුව පවසයි. 

ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශවලට ද මෙම පීඩන කලාපය හේතුවෙන් එල්ල වූ බලපෑම පහව යමින් පවතින අතර, කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලදී තවදුරටත් අවධානයෙන් කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. 

ඇතිවූ ආපදා තත්වයෙන් මරණ දෙකක් ද වාර්තා වූ අතර, හත් දෙනකු තුවාල ලබා ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

දිවයිනේ දිස්ත්‍රික්ක 4ක නිවෙස් 110 කට හානි සිදුව ඇති අතර මින් එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මහනුවර, මාතලේ, අම්පාර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට මෙම තත්වයෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර, ඇතිවූ නිවාස හානිවීම් සහ ගං වතුර හේතුවෙන් එම දිස්ත්‍රික්කවල පවුල් 387කට අයත් 1,675 දෙනකු පීඩාවට පත්විය.

මින් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 322 කට අයත්, 1,367 දෙනකු පීඩාවට පත්ව සිටිති.

Werzuo Digital

Leave a Reply