ගාලු කොටු පවුරේ කොටසක් ගිලා බසී – සංචාරකයන්ගේ ජිවිත අවදානම් (VIDEO)

ඓතිහාසික ගාලු කොටු පවුරේ කොටසක් ගිලා බැසිමට පටන් ගෙන තිබේ. ප්‍රදීපාගාරය අසල කොටු බැම්මේ කොටසක් මෙසේ ගිලා බැසිමට පටන් ගෙන ඇති අතර මේ හේතුව සංචාරකයන්ගේ ජීවිත අවදානමකට ලක්ව තිබේ.

මෙයට වසර තුනකට පෙර 2019 වසරේ ඔක්තෝබර් මාසයේ පළමුවෙන්ම මෙම ස්ථානය ගිලා බැසිමට පටන් ගත් අතර පසුව ගාලු උරුමය පදනම විසින් එම ස්ථානයට ජනතාව පැමිණිම වළක්වාලමින් ආරක්ෂා කිරිමට පියවර ගෙන තිබින.

එහෙත් වසර තුනක් යනතුරුත් එම ස්ථානය නිසිලෙස පිළිසකර නොකිරිම නිසා දැන් පෙරටත් වඩා ප්‍රමාණයක් නාය යාමට පටන්ගෙන ඇති අතර එම ස්ථානය පමණක් නොව ඒ අවටද දැඩි අවධානමක් මතුව ඇත. අඩි දහයක පමණ විස්කම්බයකින් යුත් කොටසක් මෙසේ ගිලා බැස ඇති අතර අඩි විස්සකට වැඩි ගැඹුරු දෝනාවක් ද හෑරි ඇත. 

මේ සම්බන්ධයෙන් ගාලු උරුමය පදනමේ නිලධාරියෙකුගෙන් විමසුවිට කියා සිටියේ කොටු බැම්මේ ගිලා බැසිමේ අවදානමට ලක්ව ඇති ස්ථාන තුනක් හඳුනාගෙන ඇති බවය. මෙම ස්ථානයට අමතරව ශ්‍රි සුධර්මාලය විහාරස්ථානය ඉදිරිපිට සහ හමුදා කඳවුර අසළ ස්ථාන දෙකක්ද හඳුනාගෙන ඇති බවත් එම ස්ථානවලට ගමන් කිරිමෙන් වළකින ලෙස මහජනතාව දැනුවත් කර ඇති බවත් එම නිලධාරි පැවසිය.

මේ සම්බන්ධයෙන් කොටුව සංවර්ධන කටයුතු සිදු කරන ලද උපාය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධන උපදේශක නිලාන් කුරේ මහතාගෙන් විමසුවිට කියා සිටියේ තම ව්‍යාපෘතිය අවසන් ඇති බවය. ගෝලිය උෂ්ණත්වය වැඩි වන විට මුහුදේ ජල මට්ටමද ඉහල යාමත් සමග ‍රල පහර වේගයෙන් වැදිම නිසා කැඩි යන බවද එවැනි ස්ථාන හතරක් ප්‍රතිසංස්කරණය කල බවද ඒ මහතා පැවසිය.

මෙය තම ව්‍යාපෘතිය අවසන්වු පසු සිදුව ඇති දෙයක් බවද විකල්ප යෝජනාවක් ලෙස වෙරල සංරක්ෂණ දෙපාරතමේන්තුව ලවා ගල් වැටියක් දැමිමට සුදානම්වු විට කොටුවේ පදිංචිකරුවන් විරුද්ධවු බවත් එනිසා එය මගහැරි ගිය බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසිය.

දකුණු පළාත් පුරා විද්‍යා කොමසාරිස් වසන්තා අලහකොන් මහත්මියගෙන් විමසුවිට පැවසුවේ මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයට දැන්විමෙන් පසු ප්‍රතිපාදන වෙන්කර ඇති අතර හැකි ඉක්මනින්ම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන බවය.

Werzuo Digital

Leave a Reply