නිවසකට පැමිණ වී මිටියක් රැගෙන යෑමට උත්සාහ කල වල් අලියා කල හිත හොඳ ක්‍රියාව

නිවෙසකට පැමිණ වී මිටියක් රැගෙන යෑමට උත්සාහ කළ වන අලියකුට නිවෙස් හිමියා වැඳ නමස්කාර කොට වී මිටිය දමා කරදර නොකර යන ලෙස කළ ඉල්ලීමකට අනුකම්පා කරන අයුරින් අලියකු වී මිටිය තිබූ තැන දමා පිටව ගිය සිදුවීමක් මිනිපේ ගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තා වේ.

මේ දිනවල ජනපදයේ බොහෝ ගම්මානවල දිවා රාත්‍රි වන අලි සැරිසරන අතර ජනපදයෙන් වන අලි සම්බන්ධයෙන් විවිධ පුවත් නිතර අසන්නට ලැබේ. ඇතැම් කතා රසබර වන අතර ඇතැම් ඒවා බියජනකය, කනගාටුදායකය.

මේ වන විට ජනපදයේ යල කන්නයේ අස්වනු නෙළා අවසන් වන අතර ගොවියන් එම අස්වනු නිවෙසට රැගෙන විත් ගබඩා කරගෙන සිටීම සාමාන්‍ය තත්ත්වයකි. රාත්‍රියේ ගම්වදින අලියා නිවෙස්වල හා වී මෝල්වල ගබඩා කර ඇති වී කෑමට ගිජුකමක් දක්වන අතර එම අලියා නිවාස හා වී මෝල්වල ගබඩා බිඳ වී මලු පිටතට ගෙන වී ගිල දැමීමේ සිද්ධීන්ද ගම්මානවලින් නිතර අසන්ට ලැබේ. ඒ නිසා ගැමියන්ද රාත්‍රිය ගත කරනුයේ නිදි වර්ජිතවය. රාත්‍රි කාලයේ බොහෝ නිවාස පිටත විදුලි බලයෙන් ආලෝකවත් කර තැබීමටද ගැමියා පියවර ගෙන තිබේ.

මෙසේ අලි සැරිසරන ගම්මානයක නිවෙසක රාත්‍රි 10ට පමණ තොරතෝංචියක් නොමැතිව බල්ලා බුරන හඬ ඇසී බල්ලා බුරන්නේ කුමකට දැයි බැලීම සඳහා නිවෙස් හිමියා නිවෙසේ ඉදිරි ‍දොර විවෘත කරන විට දුටු දෙයින් වික්ෂිප්ත විය. නිවෙසේ ඉදිරි සාලය අසල දැවැන්ත වන අලියෙකි. අලියාගේ හොඬවැලේ එල්ලාගත් වී මිටියකි. අලියා ගැමියා දෙස නිසොල්මනේ බලා සිටී. නිවෙස් හිමියාට සිතන්නට හෝ යමක් කරන්නට කාලයක් නැත. තව මොහොතකින් අලියා පැන තමන්ට පහර දෙනු ඇත.

එසේත් නැතිනම් වී මිටිය රැගෙන යනු ඇත. ඒ සමඟම ගණදෙවි නුවණක් ඔහුට පහළ විය.

නිවෙසේ ‍දොරකඩ ළඟ සිටි අලියා දෙසට දෑත් එක්කොට “අනේ බුදු දෙයියෝ ඔය වී මිටිය බිම තියලා යන්න. ඔච්චරයි මගේ දරුවන්ට කැඳ උගුරක් හරි දෙන්නට තියෙන්නේ. අනේ අපි ගැන අනුකම්පා කරන්ට දෙයියෝ අපිට කරදර නොකර ආපු පාරෙන්ම යන්ට ආයේ මෙහෙට එන්න එපා.”

අනුකම්පා සහගත මතු සඳහන් ඉල්ලීමේ  කන්නලව්ව ඔහු වරක් නොව දෙතුන් වරක්ම වන අලියා ඉදිරියේ බැගෑපත්ව පවසා ඉල්ලා සිටින ලදී. ගත වූයේ තවත් තත්පර කිහිපයකි. එතෙක් හොඬවැලේ රැඳවාගෙන සිටි වී මිටිය ඉතා හෙමින් බිම තබා නිවෙස් හිමියා දෙස නැවත මඳ වේලාවක් බලා සිට පියවරෙන් පියවර පසුපසට ගොස් ආපසු හැරී යන්නට ගියේ ගැමියාගේ කන්නලව්වට අවනත වූවාසේය.

නිවෙස් හිමියාගේ මේ සංවාද කතාව ඇසී ජනෙල් කවුළුවලින් සිද්ධිය දෙස ගැහෙන හදින් බිය පත්ව බලා සිටි බිරියට සහ දරුවන්ට අලියා පිටව ගිය පසු ඔහු පැවැසුවේ “උසස් ගුණ දන්නා අලිත් මේ පළාතේ ඉන්නවානේ මිනිසුන්ට වැඩිය අලි හොඳයිනේ” කියාය.

Werzuo Digital

Leave a Reply