හදිසියට මල්ලී ගත්තු ණය වෙලාවට පියවනු ඇතැයි පොඩි අයියා බලාපොරොත්තුවෙන්

ශ්‍රී ලංකාව ලබන වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයට ගෙවීමට නියමිත ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවනු ඇතැයි බලාපොරොත්තු වන බව බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දර් මහතා ප්‍රකාශ කර තිබේ

අමෙරිකා එක්සත් ජනපදයේදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී බංග්ලාදේශයට මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර ඇත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සහභාගි වීමට මහ බැංකු අධිපතිවරුන් අමෙරිකාවේ වොෂින්ටන් නුවර වෙත ගොස් ඇති අතර ඒ අතරතුර ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහ බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ශ්‍රී ලංකාව ගෙවීමට නියමිත ණය සම්බන්ධයෙන් බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කළ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා මෙසේ ප්‍රකාශ කර තිබේ.

“අපි විදේශ විනිමය හුවමාරු ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක් ලබා දුන්නා. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිසා ඔවුන්ට නියමිත වෙලාවට එම මුදල් ආපසු ලබා දීමට නොහැකි වුණා.”

ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත මෙම ණය මුදල ගෙවීමේ කාල සීමාව දෙවරක් දීර්ඝ කිරීමට බංග්ලාදේශය එකඟතාව පළ කර තිබුණු අතර ශ්‍රී ලංකාව එම ණය මුදල වාරික තුනකින් 2023 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී ආපසු ලබා දීමට නියමිත බව ඔහු ප්‍රකාශ කර තිබේ.

බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා බංග්ලාදේශයට ණය ආපසු ගෙවීම පිළිබඳව සහතික වී ඇති බව ය

Werzuo Digital

Leave a Reply