හදිසියේ කැළඹුණු කාලගුණයෙන් ලක්ෂ එකහමාරක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් එක්ලක්ෂ පනස් අටදහස් තුන්සිය අනූඑක් දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට පමණ මේ වන විට වැසි සහිත කාලගුණ තත්ත්වය බලපා තිබේ.

ඒ හේතුවෙන් කොළඹ, කළුතර, ගාල්ල, මාතර, ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයන් ඇතිවු අතර ගතවූ පැය 24 තුළ මිලිමීටර් 126.1ක් වූ වැඩිම වර්ෂාපතනය අම්පාර කල්මුණේ ප්‍රදේශයෙන් වාර්තා විය.

කැලණි ගඟ පිටාරගැලීමෙන් කැලණිමුල්ල, කඩුවෙල ඇතුළු අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ අතර, අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගය ජාඇල කොටුගොඩ මංසන්ධිය ද ජලයෙන් යටවිය.

කෙසේවෙතත් ගම්පහ නගරයේ පැවති ගංවතුර ක්‍රමයෙන් මේ වනවිට බැසයමින් තිබේ.

කළු ගඟ සහ කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යට වූ අතර, ඒ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බලපෑම් එල්ල විය.

එමෙන්ම හැමිල්ටන් ඇල පිටාර ගැලීමෙන් පුත්තලම නාත්තන්ඩිය, තුම්මෝදර, මාවිල ඇතුළු ප්‍රදේශ රැසක් ද ජලයෙන් යටවිය.

අත්තනගලු ඔය, කැලණි, කළු, ගිං ගංගා ද්‍රෝණිවල ගංවතුර අවදානම් තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් කරන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

කෙසේ නමුත් අද රාත්‍රියේ මෙන්ම හෙටත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ද අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බැවින් ඒ ආශ්‍රිතව අවදානම් ලෙස නම්කර ඇති මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන්නැයි එම දෙපාර්තමේන්තුව නාවුක සහ ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙමින් පවතින වැසි තත්ත්වයෙන් එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතුවලට බලපෑම් එල්ල වී තිබේ.

එමෙන්ම පොලීසිය රියදුරන්ට දැනුම් දී ඇත්තේ මීදුම් සහිත අවස්ථාවල රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙසය.

කොළඹ පාසල් හෙටත් වැසෙයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය. 

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

පාසල්වලට නිවාඩු ලබාදීමේ දී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, වර්තමානයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සමග සාකච්ඡා කර ඇති බවය.

ගාල්ල දිස්ත්‍රික්කයේත් පාසල් කිහිපයක් හෙට වැසෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දිනයේ (15) වසා තැබිමට දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා උපදෙස් දී තිබේ.

අම්බලන්ගොඩ කලාපයේ බලපිටිය කනිෂ්ට විද්‍යාලය, බලපිටිය ශ්‍රීපති විද්‍යාලය, බලපිටිය මාදුව කනිෂ්ට විද්‍යාලය, හික්කඩුව මලවැන්න විද්‍යාලය, අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලය සහ ගාල්ල කලාපයේ රෝමානු කතෝලික විද්‍යාලය යන පාසල් සුළු ගංවතුර තත්ත්වය හේතුවෙන් හෙට දින පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපනය බලධාරීන් විසින් වාර්තා කිරීමෙන් පසුව දකුණු පළාත ආණ්ඩුකාරවරයා විසින් මෙම පියවර ගෙන තිබේ

Werzuo Digital

Leave a Reply