ඇමෙරිකාවේ රාජ්‍ය ආයතනවල TikTok තහනම් කරයි

ඇමරිකාවේ රජයට අයත් ආයතනවල භාවිත කරන පරිගණක, දුරකතන ආදියෙන් ටික් ටොක් යෙදවුම ඉවත් කරන ලෙස ධවල මන්දිරය උපදෙස් දී තිබේ.

ඉදිරි දින 30ක කාලය තුළ මේ සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන්ද දැනුම් දී ඇති බව සඳහන් වන අතර ධවල මන්දිරය ඉහත කී නියෝගය ලබා දී ඇත්තේ පසුගිය වසර අවසානයේ එරට කොංග්‍රසය විසින් ගන්නා ලද තීන්දුවක් මත පදනම් වෙමිනි.

මෙම යෙදවුම චීන යෙදවුමක් වන අතර ඒ හරහා චීනය ඇමරිකාවේ ඔත්තු බලන බවට පසුගිය කාලයේ චෝදනා එල්ල වී තිබිණි. එය ඇමරිකාවේ ජාතික ආරක්‍ෂාවට සහ ඇමරිකානුවන්ගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් බවටද අදහස් පළ විය.

කෙසේ නමුත් ඇමරිකාව තුළ ටික් ටොක් භාවිත කරන පෞද්ගලික පාරිභෝගිකයන් මිලියන 100කට වැඩි පිරිසකට මෙම තහංචිය අදාළ නොවේ.

මෙයට සමාන තහංචියක් ක්‍රියාත්මක කිරීමට මෙයට පෙර කැනඩා

ව සහ යුරෝපා සංගමයද පියවර ගෙන තිබිණි. ඇමරිකානු කොංග්‍රසය පසුගිය දෙසැම්බරයේ මෙම තහංචිය සම්මත කිරීමට පෙරම එරට ඇතැම් රජයේ ආයතන ටික් ටොක් යෙදවුම ඔවුන්ගේ පරිගණක, දුරකතන වැනි උපාංගවලින් ඉවත් කර තිබූ බව සඳහන් වේ. ධවල මන්දිරය, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතන ඒ අතර විය.

මේ අතර ටික් ටොක් යෙදවුම ඇමරිකාවේ සියලුම උපාංගවලින් ඉවත් කරනවාද යන්න සම්බන්ධයෙන්ද ඉදිරියේ දී තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්ය. නමුත් එරට සිවිල් නිදහස පිළිබඳ සංවිධාන එවැනි තීරණයකට විරුද්ධ බව මාධ්‍ය වාර්තා කර ඇත. චීනයේ ByteDance සමාගමට අයත් ටික් ටොක් යෙදවුම වීඩියෝ බෙදාහදා ගන්නා යෙදවුමකි.

Werzuo Digital

Leave a Reply