බැලුනයක් හේතුවෙන් චීන ඇමරිකාව අතර අවුලක්

චීනයට අයත් යැයි සැක කෙරෙන ඇමෙරිකන් අහසේ පියාසර කල බැලුනයක් හේතුවෙන් දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් චීනයේ සිදු කිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කර තිබේ. වසර ගණනාවකට පසු දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු ඉහළ මට්ටමේ සකච්ඡාව සඳහා සහභාගී වීමේ අරමුණින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් අමෙරිකාවට ඉහළ අහසේ චීන බැලුනයක් පියාසර කරවීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය චීන සංචාරය අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ බැලුනය ඔත්තු බැලීම සඳහා යොදවා ඇති බවට චෝදනා කරන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, එය සිය රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකා රජයට සහ ආරක්ෂක අංශවලට අයත්, ගොඩනැගිලි සහ ස්ථානවලට ඉහළින් යමින් මෙම බැලූනය ඔත්තු බැලීමේ කටයුතුවල නියැලෙන බව වාර්තාවේ.

ඉතා ඉහළ අහසේ සැරිසරන මෙම බැලූනය අවසන් වරට දකින්න ලැබී ඇත්තේ ඇමෙරිකාවේ මොන්ටැනා ජනපදයේ බිලින්ග්ස් නගරයට ඉහළින් බව වාර්තාවේ.

බැලූනයට පහර දී බිම දැමීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සූදානමින් සිටී නමුත් බැලූනයේ කොටස් නගරවලට පතිත වීමෙන් අනතුරක් සිදුවිය හැකි බැවින්, පහර දීමක් නොකර බැලූනය ගැන විමසිල්ලෙන් සිටින බව ද ආරක්ෂක අංශ පැහැදිලි කර තිබේ.

චීනය මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. එසේ වුවත් ඇමෙරිකන් ආරක්ෂක ප්‍රධානීන් චීන බලධාරීන්ට බැලූනය ගැන පවසා ඇතැයි ද වාර්තා වේ.

ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලියොඩ් ඔස්ටින් සහ ඇමෙරිකන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මාර්ක් මයිලි මෙම බැලූනය සම්බන්ධයෙන් ඇමෙරිකන් ආරක්ෂක අංශ ප්‍රධානී හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

ඔවුන් බැලූනය සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට ද ලබා දී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ අතර ඇමෙරිකාවේ අසල්වැසියා වන කැනඩාව ද පවසා ඇත්තේ එරට ගුවන් සීමාවට ද ඔත්තු බලන බැලූනයක් පැමිණ ඇති බවය.

කැනඩා ආරක්ෂක අංශ පවසා ඇත්තේ එරට ගුවන් සීමාවට බැලුනය ඇතුළු වූයේ ඇලෙක්ස්කාවට අයතක් ඇලියුටීන් දූපත් පසුකරමින් බවය.

Werzuo Digital

One thought on “බැලුනයක් හේතුවෙන් චීන ඇමරිකාව අතර අවුලක්

Leave a Reply