ශ්‍රී ලාංකීය දරුවන් වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය ඩොලර් මිලියන 25ක් ඉල්ලයි

ඉදිරි මාස හත තුළ මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්විය හැකි මිලියන 1.7 ක ළමුන්ගේ පෝෂණය, සෞඛ්‍ය සේවා, පිරිසිදු පානීය ජලය, අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25.3 ක ආධාර ඉල්ලා තිබෙන බව යුනිසෙෆ් සංවිධානයේ මෙරට කාර්යාලය නිවේදනය කලේය.

ශ‍්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ දරුවන්ගෙන් අඩකට ආසන්න පිරිසකට කිසියම් ආකාරයක මානුෂීය ආධාර අවශ්‍ය වී ඇති බව එම සංවිධානය පවසයි.

වත්මන් අර්බුදයට පෙර සිටම, දකුණු ආසියාවේ දෙවැනි ඉහළම ළමා මන්දපෝෂණ අනුපාතය ශ්‍රී ලංකාව සතු වූ අතර, ළදරුවන් 5 දෙනෙකුගෙන් 2 දෙනෙකුට අවම පිළිගත හැකි ආහාර වේලක් ලැබෙන්නේ නැති බවත් ඉහළ යන ආහාර මිලත් සමඟ සියයට 70 ක පමණ ආහාර පරිභෝජනය අඩු වී ඇති බව වාර්තා වි ඇති බවද එහි සදහන්ය.

ඉන්ධන අර්බුදය සහ නිරන්තර විදුලි කප්පාදුව සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුළු දරුවන්ගේ අත්‍යවශ්‍ය සේවාවන්ට බාධා එල්ල කරන බවත් පානීය හා ගෘහාශ්‍රිත භාවිතය සඳහා සුරක්ෂිත පිරිසිදු ජලය භාවිතය අඩුවෙමින් පවතින අතර එමඟින් ජලයෙන් බෝවන රෝග ඇතිවීමේ අවදානම වැඩි වන බවද එහි සදහන්ය.

කෙසේ වෙතත් මෙරට දරුවන්ගේ ආහාර, සෞඛ්‍ය හා පෝෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් කැපවන බවද එම සංවිධානය පැවසීය

Werzuo Digital

Leave a Reply