P 627 නෞකාව “විජයබාහු” නමින් අධිකාරියට පත් කෙරේ

ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු” නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ වරායේ දී සිදු විය.

නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, නෞකාවේ සමරු පොතෙ‍හි සමරු සටහනක් ද තැබීය.

“Hamilton Class High Endurance Cutter” යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගන්නා ලද මෙම නෞකාව දිගින් මීටර් 115කි. උපරිම වේගය පැයට නාවික සැතපුම් 29කි. එක් වරකදි අවම වශයෙන් නාවික සැතපුම් 14,000ක දුරක් ආවරණය වන පරිදි අවේක්ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නාවික තාක්ෂණ උපාංග හා පහසුකම්වලින් ද මෙම නෞකාව සමන්විත වේ. ‍

එමෙන්ම මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදුකළ වකවානුවේ, එරට මුහුදු කලාපයේ සිදු වූ නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය, නීති විරෝධී සංක්‍රමණ කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම් සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දී ඇත.

P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරුව එහි අණ දෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක මහතාගේ අධීක්ෂනය යටතේ නෞකාවේ පළමු කාර්ය මණ්ඩලයට අයත් 130 දෙ‍නෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයට මාස 10ක පමණ කාලයක් නෞකාව සම්බන්ධ පුහුණුවක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නෞකාවේ නවීකරණ කටයුතු සිදු කර ඇත.

Leave a Reply