O/L ගැන තීරණයක් ගන්න වෙනවා – ජනපති

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණයක් ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඒ අනුව, මෙම විභාගය දැනට පවත්වාගෙන යන ක්‍රමයට වඩා වෙනස් අයුරින් පවත්වන්නේ ද, නොඑසේ නම් සමත් අසමත් විභාගයක් ලෙස පවත්වනවා ද යන්න පිළිබඳ අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

වසර 13ක් අධ්‍යාපනය ලබනවා නම් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍ය ද යන ගැටලුව තිබෙන බව ත් ඒ අනුව ඇතැම් අය සාමාන්‍ය පෙළ විභාගය අවශ්‍ය නැතැයි කියන බව ත් හෙතෙම ප්‍රකාශ කළේය.

ලෝකයේ දියුණු ම රට වන අමෙරිකාවෙහි සාමාන්‍ය පෙළ විභාගයක් හෝ උසස් පෙළ විභාගයක් නැතැයි පැවැසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට එය කළ හැකි වෙතැයි තමා විශ්වාස නොකරන නමුත් සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණයක් ගැනීමට සිදුවන බව ප්‍රකාශ කළේ ය.

රජය වසර 13ක අධ්‍යාපනයක් ලබා දෙනවා නම් විභාග ද ඒ අනුව ම පැවැත්වීමේ යුතුකමක් තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

මේ වන විට විභාගවල දින මාරු වන බව ත් ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා විවිධ මාසවල උසස් පෙළ විභාගය පවත්වන බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නීතියෙන් නියම කළ යුතු බව ත් ඒ ආකාරයට විභාග නිසි වේලාවට පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවේ මූලික වගකීමක් වන බව ත් හෙතෙම අවධාරණය කළේ ය.

සිසුන් 8 වසර සමත්වීම මත හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත්වීම මත පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වීමට ඉඩ නොතැබිය යුතු බව ත් සෑම දරුවෙකුට ම වසර 13ක පාසල් අධ්‍යාපනයක් ලබා දීමේ වගකීම රජය භාර ගත යුතුව තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

අරලියගහ මන්දිරයේ පසුගිය දා (ජූනි 16) පැවති 2018-2022 අධ්‍යයන වසර – ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කීවේ ය.

Leave a Reply