Mocha පැයට කිලෝමීටර 175ක වේගයකින් හෙට ගොඩබිමට

පැයට කිලෝමීටර 175 (පැයට සැතපුම් 108) තරම් වේගයකින් හමා යන මෝඛා ප්‍රචණ්ඩ සුළි කුණාටුව හෙට (14) දහවල් කාලයේ දී මියන්මාරයේ වයඹ දිග රඛයින් ප්‍රාන්තයේ සිට්වේ සහ බංග්ලාදේශයේ කොක්ස් බසාර් අතරින් ගොඩබිමට කඩාවදින බව ජාත්‍යන්තර කාලගුණ අංශ, ඉන්දීය, බංගලදේශ සහ මියන්මාර කාලගුණ අංශ නිවේදනය කළේය

මෙම ප්‍රචණ්ඩ කුණාටුව මේ වන විට බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අතර එය උතුරු දෙසට ගමන් කරමින් තිබෙන බවද සුළි කුණාටු පද්ධතිය නිරීක්ෂණය කරන කාලගුණ අංශ නිවේදනය කලේය.

මෙම ප්‍රබල සුළි කුණාටුවත් සමග දරුණු ගංවතුර සහ නායයෑම් ඇතිවිය හැකි බවත් අඩි 12 (මීටර් 3.66) දක්වා මුහුදු රළ ගොඩබිමට කඩාවැදිය හැකි බව කාලගුණ අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මෝඛා ප්‍රචණ්ඩ සුළි කුණාටුව ඉකුත් පැය 24 තුළ වේගයෙන් තීව්‍ර වී ඇති අතර එය දැන් 3 වැනි කාණ්ඩයේ අත්ලාන්තික් සුළි කුණාටුවකට සමාන බව ඒකාබද්ධ ටයිෆූන් අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

මියන්මාරයේ සහ බංග්ලාදේශයේ අවදානම් කලාපවලින් ලක්ෂ ගණනක් ජනයා මෝඛා සුළි කුණාටුවට පෙර ඉවත් කර තිබෙන අතර එම මෙහෙයුම් අද (13) රාත්‍රියේ අවසන් කරන බවද දෙරටේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ අවතැන් කඳවුරුවල සිටින ලක්ෂ තුනකට ආසන්න පිරිසක් කුණාටුවට ගොදුරු විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply