Internet හරහා බැංකු ගනුදෙනු කරන අයට අනතුරු ඇඟවීමක්

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමකට අදාළව සැකකරුවන් 8 දෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු හෙට (30) දක්වා රිමාන්ඩ් කර තිබේ.

පුද්ගලික බැංකුවක ගිණුම් දෙකකට අන්තර්ජාල බැංකු ගනුදෙනු පහසුකම් යටතේ අනවසරයෙන් ඇතුළු වී රුපියල් 13,765,000ක මුදල් වංචා කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර ඇත.

ඒ අනුව නොවැම්බර් 26 වනදා වාද්දූව, පිළියන්දල, බණ්ඩාරවෙල හා ගාල්ල යන ප්‍රදේශවලදී මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන ගාල්ල, වැලිගම, රත්ගම, වාද්දූව හා පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply