IMF පළමු වාරිකය ලැබුණා – ජනාධිපති පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන ලෙස පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන හතක පමණ කඩිනමින් ණය ආධාර බලාපොරොත්තු වන බවද  ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව IMF එකඟතාවයට අදාළ ලියවිල්ල ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සභාගත කළේය.

අද පාර්ලිමේන්තුවේ දී IMF මූල්‍ය පහසුකම අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ පසුගිය දා තමා භාරගත්තේ ගිනිගත් රටක් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මම පසුගිය ජූලි 9 වනදා භාරගත්තේ ගිනි ගත් රටක්. අවුලෙන් අවුලට පත්වු රටක්. හෙට දවස ගැන අඹමල් රේණුවක බලාපොරොත්තුවක් නැති රටක්. නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කළ රටක්. උද්ධමනය 73%ක් දක්වා ප්‍රකාශ කළ රටක්. ඉන්ධන, ගෑස් පෝලිම්වල ජනතාව දවස් ගණන් දුක්විඳින රටක්. පාසල් වැහිච්ච රටක්.  දවසකට පැය 10 – 12ක් විදුලිය කප්පාදු කළ රටක්. ගොවීන් ට වගා කරන්න පොහොර නැති රටක්. නීතිය හා සාමය වල්වැදුණු රටක්. ආණ්ඩුවේ කාර්යාල බලහත්කාරයෙන් අල්ලාගෙන පිටස්තරයින් පදිංචිවෙලා හිටිය රටක්. මැර කණ්ඩායම් තැන තැන පහරදීම් කළ රටක්. ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනි තියන රටක්. මහදවල් මිනිස්සු මරාදාපු රටක්. 

මෙවැනි පසුබිමක වගකීම භාරගන්න කවුරුත් කැමති වුණේ නෑ. සමහරු පස්ස ගැහුවා. සමහරු කේන්දරය බලන්න කල්ඉල්ලුවා. සමහරු ලිස්සලා ගියා. සමහරු බය වුණා. මගෙන් ඉල්ලීම කළේ කවුරුත් වගකීම භාරගන්න ඉදිරිපත් නොවුණ අවස්ථාවක. මම කිසිම කොන්දේසියක් නැතිව අභියෝගය භාරගත්තා. මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නෑ. මට මන්ත්‍රීවරු හිටියේ නෑ. මට තිබුණේ එකම ශක්තියයි ඒ මම ඉපදුන, හැදුන, වැඩුන මගේ ආදරණීය රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය විතරයි.

මේ බරපතළ අභියෝගය භාරගනිද්දි මා සතුව තිබුණේ අතීත අත්දැකීම් මතින් ගොඩනගාගත් විශ්වාසය පමණයි. මම වැටුණත් රට වැටෙන්නේ නෑ කියන අදහස ඇතිව මම අභියෝගය භාරගත්තා…”

Leave a Reply