Cryptocurrency භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ ඇති අවදානම ගැන අනතුරු ඇඟවීමක්

මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටින බව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මහ බැංකුව නිකුත් කළ එම නිවේදනය වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබේ.

ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයක් බවත්,

මෙම ක්‍රිප්ටෝ මුදල්, ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) හෝ ඒ හා සමාන තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාවට නංවන, වටිනාකම් පිළිබඳ ඩිජිටල් නිරූපණයක් ලෙස හැඳින්විය හැකි බවත්,

ක්‍රිප්ටෝ මුදල් ලාභදායි ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයින් සහ ව්‍යාපාර විසින් පුළුල් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන බව නිරීක්ෂණය වී ඇති බවද එහි සදහන්ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෑතකාලීනව ලැබුණු පැමිණිලිවලින් පෙනී යන්නේ එසේ සිදුකරනු ලැබූ ආයෝජනවලින් මහජනතාවට විශාල ලෙස මූල්‍ය පාඩු සිදුවී ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මූල්‍ය වංචාවන් වලට හසුවී ඇති බවත්ය.

ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ පිළිගත් වත්කම් ප්‍රභේදයක් නොවන අතර එය නියාමනය නොවන ආයෝජන උපකරණයක් බවට මහජනතාවට නැවතත් අවධාරණය කරයි.

තවද, ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් (Legal Tender) ලෙස නොසලකන අතර ඒවායේ භාවිතය සම්බන්ධයෙන් මෙරට තුළ නියාමන ආරක්ෂණයක් නොමැත. තවද, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2021 අංක 03 දරන නියෝගය ප්‍රකාරව ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු හා සම්බන්ධ ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards) වැනි විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිතා කිරීමට ද අවසර නොමැත

ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජන කර ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් ක්‍රියාත්මක වන මූල්‍ය වංචාවන්වල සීග්‍ර වර්ධනයක් පෙනී යන බව මහජනතාව වෙත අනතුරු අඟවනු ලැබේ.

තවද, ක්‍රිප්ටෝ මුදල් හා සම්බන්ධව පවතින විවිධ ආකාරයේ අවදානම් සහ එමගින් මහජනතාව හට ඇතිවන මුල්‍යමය අලාභ ඇතුලු අනෙකුත් අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින්, ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම ප්‍රවර්ධනය කරන සහ එසේ ප්‍රවර්ධනයට සහය දෙන පාර්ශ්වයන් වෙත එවැනි කටයුතුවලින් වළකින ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව අවධාරණය කරනු ලබයි.

Leave a Reply