75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනපති කල විශේෂ ප්‍රකාශය

මම අද පවත්වන්නේ සාම්ප්‍රදායික නිදහස් දින කතාවක් නෙවෙයි. නිදහස ලබා ගැනීමට කැපවුණු, වෙහෙසුණු ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළු සියලු දෙනාටම ගෞරවය පුදකරමින් මම කතා කරන්න යන්නේ, අපට ලැබුණු නිදහස ගැන නෙවෙයි. අද අපට අහිමි වෙලා තිබෙන නිදහස යළි දිනාගැනීම පිළිබඳවයි.

මීට අවුරුදු 75කට කලින් ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ කීර්තිමත් “ලන්ඩන් ටයිම්ස්” පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් වුණා.

“ලංකාව නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීම අපේ අපේක්ෂාවයි” කියලා.

වෙනත් කිසිඳු පෙරදිග රටක් පිළිබඳව ඔවුන් එවැනි අපේක්ෂාවක් ඇතිකර ගත්තේ නැහැ.

එහෙත් වර්තමානයේ අපට සිදු වී ඇත්තේ කුමක්ද?

අද අපි ඉතිහාසයේ මෙතෙක් නොවූ විරු දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නේ. මෑත ඉතිහාසයේ මෙවැනි බරපතළ තත්ත්වයකට අප මුහුණ දීලා නැහැ.

අපට එවැනි තත්ත්වයක් උදා වුණේ ඇයි? මේ තත්ත්වයට වග කියන්න ඕනෑ කවුද?

අපි ඇත්ත කතා කරමු. මේ තත්ත්වයට අපි සියලුදෙනාම අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. අපි කාටවත් එකිනෙකාට ඇඟිල්ල දිගු කර වරද පටවන්න බෑ.

අපි මුල ඉදලාම වරද්දා ගත්තා. ඒ වරද නිවැරදි කර ගැනීමට උත්සාහයන් ගැනුණා. වෙහෙසීම් කෙරුණා. එහෙත් සියයට සියයක් නිවැරදි කර ගැනීමට හැකි වුණේ නැහැ.

නිදහස ලබාගැනීමේ දී ඩී.එස්. අනුගමනය කළ පිළිවෙත වුණේ ලංකාවාසී සියලුදෙනා එක්සත් කිරීමයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කවරෙක් වුවත් ලාංකිකයන් ලෙස ඉදිරියට කටයුතු කළ යුතු බව ඔහු එදා කිව්වා.

නමුත් නිදහසින් පස්සේ අපි බෙදුණා. ජාති, ආගම්, පළාත් වශයෙන් බෙදුණා. එකිනෙකා කෙරෙහි සැකය, වෛරය ඇතිවන තෙක්ම බෙදුණා. විවිධ කණ්ඩායම්, බලය ලබා ගැනීමට මේ බෙදීම පාවිච්චි කළා. බලය වෙනුවෙන් තව තව බෙදීම් ඇති කළා. අපි ඒ අය ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඒ අයටම බලය ලබා දුන්නා.

දේශපාලනයේ දී ඇත්ත වෙනුවට බොරු කිව්වා. ඇත්ත කියූ දේශපාලනඥයන් ජනතාව ප්‍රතික්ෂේප කළා. රටේ සැබෑ තත්ත්වය පෙන්වා දෙමින් ඊට පිළියම් හොයන අයට තැනක් ලැබුණේ නැති තරම්. බොරුවෙන් හිත සතුටු කරන අයට වැඩි පිළිගැනීමක් ලැබුණා. අප පොරොන්දු දේශපාලනයක හිර වුණා. අපට අයිති නැති, ණයට ගත්තු සම්පත් මත යැපුණා. වැඩි වැඩියෙන් ණය ගත්තා

“ආණ්ඩුව කියන්නේ සම්පත් උල්පතක්” කියන ආකල්පය අපි ඇතිකර ගත්තා. පාලකයන්ගේ යුතුකම ඒ උල්පතින් ලැබෙන විවිධ සම්පත් ජනතාවට බෙදාදීම කියලා බොහෝ දෙනෙක් හිතුවා. ඒ අනුව රැකියා බෙදා දුන්නා. සම්පත් බෙදා දුන්නා. උපකරණ බෙදා දුන්නා. මුදලුත් බෙදා දුන්නා.

අපි වැඩි හරියක් ඡන්දය දුන්නේ රට වෙනුවෙන් නෙවේ. අපි වෙනුවෙන් රස්සාවක් ගන්න, දරුවෙක් ඉස්කෝලෙට දාගන්න, ටෙන්ඩරයක් පාස් කරගන්න අපි ඡන්දය දුන්නා. අපි ඡන්ද අපේක්ෂකයන්ට වැඩ කළේ පුද්ගලික වාසි බලාගෙන.

අපි වැඩි හරියක් ඡන්දය ඉල්ලුවෙත් රට වෙනුවෙන් නෙවෙයි. අපි වෙනුවෙන්. බලය ලබා ගන්න. වරප්‍රසාද භුක්ති විඳින්න. වැඩිපුර ටිකක් හම්බ කරගන්න.

අපි පොරොන්දුවලට කොටු වුණා. සටන් පාඨවලට හිර වුණා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙන්න පටන් ගත්තා. අපි දේශපාලන පොරොන්දු ඉටු කිරීම සඳහාත් සටන් පාඨවලින් කියූ දේ සනාථ කිරීම සඳහාත් වැඩි වැඩියෙන් ණය ගත්තා.

අපි වැඩි වැඩියෙන් ණය ගත්තේ පරිභෝජනයට මිස ආයෝජනයට නෙවේ. නමුත් බුදුන් වදාළේ “ණය ගත යුත්තේ ආයෝජනයට මිස පරිභෝජනයට නෙවෙයි” කියලයි. අපි බෞද්ධකම ගැන කතා කරන ගමන්, බුදුන් වදාළ ධර්මයට පිටින් ගියා.

සිංගප්පුරුව ගොඩගන්න හැටි ඉගෙන ගන්න ලංකාවට ආපු ලී ක්වාන් යූ අවුරුදු ගණනකට පසුව මෙන්න මෙහෙම කියනවා.
“ඔබේ රටට මේ තත්ත්වය ඇති වුණේ අනවශ්‍ය ලෙස දේශපාලනයට මුල් තැන දීම නිසයි. ඔබේ රට ආදර්ශයට ගත්තා නම් අද සිංගප්පූරුවත් විනාශයි”

ඇත්තටම අපි දැන් විනාශය කරා ඇවිත් තියෙන්නේ. මේ තුවාලය හැමදාම පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. ඒත් මම ඒකට කැමති නෑ. අපි සැත්කමක් කරලා මේ තුවාලය හොඳ කර ගනිමු. ඒක අමාරුයි. වේදනාකාරියි. දුෂ්කරයි. නමුත් ඒ දුක, වේදනාව කෙටි කාලයකට වින්දොත් අපට තුවාලය නිට්ටාවටම සනීප කර ගන්න පුළුවන්.

සමහර දේශපාලන පක්ෂ පෙන්වා දෙන කෙටි පාරවල්වලින් මේ අර්බුදයෙන් අපට ගොඩඑන්න බැහැ. මේ අර්බුදය ජය ගෙන සැබෑ ආර්ථික හා සමාජයීය නිදහසක් ලබා ගන්න නම් අපට යන්න තියෙන්නේ එකම එක පාරයි. මේ නරා වළෙන් ගොඩඑන්න අපට තියෙන්නේ එකම එක ඉණිමගයි. මතක තියා ගන්න, දේශපාලන අවශ්‍යතා නිසා මේ ඉණිමග ඇදලා පැත්තකට දැම්මොත් අපට රටක් නැ. අපට හෙටක් නැ.

අප අද පත්ව තිබෙන ආර්ථික අර්බුදයේ බරපතලකම සහ අනතුර ගැන මම මීට කලින් අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. මේ අවුරුද්දේ මුල් මාස හයක පමණ කාලය අතිශය දුෂ්කර වන බව මම කල් ඇතිවම කිව්වා. මේ දුෂ්කර තත්ත්වයට අකැමත්තෙන් වුණත් අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රට වෙනුවෙන් ඒ දුෂ්කර තත්ත්වය විඳ ගන්න අපට සිද්ධ වෙනවා. දේශපාලන සීනිබෝල කතාවලින් මේ තත්ත්වයට විසඳුමක් ලැබෙන්නේ නෑ.

නිදහස් අධ්‍යාපනය නිසා මේ රටේ විශාල පිරිසක් දුගී බවෙන් මිදී මධ්‍යම පන්තිය වෙත පිවිසියත්, අද මේ රට ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට නොහැකි බිමක් බවට පත් වී තිබෙනවා. වැඩබිම්වල උරෙන්උර ගැටිය යුතු තරුණ පරපුර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ පෝලිම්වල තෙරපෙන අයුරු මා දකිනවා. අප එය වෙනස් කළ යුතුයි.

එසේ නම් අපි මේ ආර්ථිකය නවීකරණයකට ලක් කරමින් ලෝකයට විවෘත කළ යුතුයි. ජනතාව රැවටීමට ලක්කරමින් ඔවුන්ව සදාතනික දුප්පතුන්, යැපෙන්නන් බවට පත්කරන දූෂිත දේශපාලන කල්ලිවාදයත් පරාජයට පත්කළ යුතුයි. එය මේ රටේ තරුණ පරපුර බොහෝ කලක සිට බලාපොරොත්තු වූ “සිස්ටම් චේන්ජ්” නොහොත් ක්‍රම වෙනස යි.

ඒ සඳහා මගේ රජය නව ප්‍රතිසංස්කරණවාදී මාවතකට ප්‍රවේශ වී තිබෙනවා. ඒ වෙනුවෙන් ගනු ලබන තීන්දු, යම් වේදනාකාරී ස්වරූපයක් ගනු ලැබූව ද මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපට ඒ පියවර අනුගමනය කිරීමට සිදු වෙනවා.

මේ අර්බුදය ජය ගන්න නම්, අපි පටු දේශපාලනයෙන් ඈත් විය යුතුයි. අපි එක මවකගේ දරුවන් සේ එකමුතුව මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. අභියෝගය ජය ගැනීමේ මාවත ශක්තිමත් කිරීමට හැකි උපරිමයෙන් දායක විය යුතුයි. සියලු භේද පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සියලු දෙනා ඉදිරියට යා යුතුයි.

ඒ ඔස්සේ ශක්තිමත් නව ආර්ථිකයක් නිර්මාණය කර ගත යුතුයි. ඒ සඳහා මූලික පියවර හා පදනම දැන් සකස් කර අවසන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අවශ්‍ය දුෂ්කර කාර්යයන් අප සාර්ථකව අවසන් කර ගනිමින් යනවා. නොබෝ දිනකින් ඔවුන්ගේ එකඟත්වය ලබා ගැනීමට අපි අපේක්ෂා කරනවා.

ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් විතරක් අපට සෑහීමකට පත්වෙන්න බෑ. අපි සමස්ත ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතුයි. මේ දේශපාලන ක්‍රමය, පාර්ලිමේන්තුව, විධායකය, රාජ්‍ය යාන්ත්‍රණය ආදී සියලු ක්ෂේත්‍ර යුගයට ගැළපෙන විදියට වෙනස් කළ යුතුයි. මේ වෙනස්වීම රටටත්, අපටත් දැනෙන යහපත් එකක් විය යුතුයි. අලුත් ක්‍රමවේදය තුළ තරුණයන්ගේ සහ කාන්තාවන්ගේ අදහස් මෙන්ම නියෝජනය සඳහාත් වැඩි ඉඩ කඩක් ලබා දිය යුතුයි.

මේ ක්‍රම වෙනස සඳහා අවශ්‍ය අණ පණත් ගණනාවක් අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

ඒ වගේම උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන විශේෂිත ගැටලු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතුයි. මේ වන විටත් අප ඒ සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කර තියෙනවා.

එහිදී ගන්නා තීරණ සහ ක්‍රියාත්මක කරන දින වකවාණු සියලු දේශපාලන පක්ෂ වෙත ලබා දෙනවා. ඔවුන්ගේ අදහස් අනුව ඒ කාර්යයන් ඉදිරියට ගෙන යනවා. ඉඩම් යළි මුදා හැරීම, සිරකරුවන් නිදහස් කිරීම වැනි කටයුතු සඳහා අප ප්‍රමුඛත්වය ලබා දී තියෙනවා.

ඒ වගේම ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමක් උදෙසා පියවර ගන්නවා. නමුත් කිසිවිටෙක මේ රට බෙදන්නට අප ඉඩ දෙන්නේ නෑ.

මා උත්සාහ ගන්නේ මතුපිටින් පෙනෙන රෝගී තත්ත්වයට වේදනා නාශක දෙන්න නෙවෙයි. රෝග නිධානයට පිළියම් කිරීමටයි. එය අසීරුයි. දුෂ්කරයි. නමුත් අප යා යුතු එකම මාර්ගය එයයි.

ජනාධිපතිධූරයට පත්වූ දා පටන් මට ගන්නට සිදු වුණ තීන්දු බොහෝමයක් ජනප්‍රිය තීන්දු නොවූ බව මම දන්නවා.
නමුත් ඒ තීන්දු නිසා අද මේ රටේ කිසිම පුරවැසියෙකු තෙල් පෝලිම්වල විජලනයෙන් මිය යන්නේ නැහැ. ගෑස් නොමැතිව බඩගින්නේ ඉන්නේ නැහැ. පොහොර නොමැතිව ශාප කරන්නේ නැහැ.

එම නිසා අරාජිකවාදී දේශපාලන බලවේගයන් කවර බාධක නිර්මාණය කළත් මම මේ රටට ආදරය කරන බහුතර ජනතාව සමඟ එක්ව, මේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යනවා.

සාමය සංහිඳියාව පෙරදැරි කරගෙන එකමුතුව, සැලසුම් සහගතව ඉදිරියට ගියොත් අපට 2048 වෙද්දි සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වෙන්න පුළුවන්. ලෝකයේ වෙනත් කිසිඳු රටකට අතපාන්නේ නැති, දියුණු රටක් බවට පත්වෙන්න පුළුවන්. සැබෑ නිදහස උදාකරගන්න පුළුවන්.

අපේ දරු දැරියන්ට ලෝකයත් සමඟ තරග කළ හැකි අලුත් රටක් නිර්මාණය කිරීම අප සැමගේ වගකීමක්. ඒ නිසා මේ දුෂ්කර අවධිය ජය ගැනීමට එකට එක්වන ලෙස මම සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.

අපි එකමුතු වෙමු ! අත්වැල් බැඳ ගනිමු !

එසේ අත්වැල් බැඳගෙන ඉදිරි වසර 25 සඳහා අප සකස්කරගෙන ඇති සැලසුම් අනුව, එක්සත් ගමනක් යමු. සියලු පාර්ශ්වයන්ගේ අදහස් අනුව ඒ සැලසුම් වඩාත් පෝෂණය කර ගනිමු. වඩාත් ශක්තිමත් කර ගනිමු. ඒවා වඩාත් ක්‍රමවත් සහ විධිමත් කර ගනිමු.

මේ වෑයමට එක් විය යුත්තේ ශ්‍රී ලංකාවේ වෙසෙන අප සැම පමණක් නොවෙයි. ලොව පුරා විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද මේ ගමනට උර දිය යුතුයි. එක් විය යුතුයි. සියලුදෙනාම හැකි ශක්ති ප්‍රමාණයෙන් මේ ඉලක්ක ජය ගැනීමට සහාය විය යුතුයි.

ඉතින් අපි සියලුදෙනා එකට එක්ව වෙහෙසෙමු. එකාවන්ව කැපවෙමු. එක මවකගේ දරු කැලක් මෙන් එකතුවෙමු. අපේ රටට නිදහසින් අවුරුදු 100ක් පිරෙන 2048 වර්ෂයේ දී අපේ රට ලෝකයේ ඉහළින්ම ඇති රාජ්‍යයක් බවට පත් කර ගනිමු

ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply