2035 වන විට ක්ෂය රෝගය ශ්‍රි ලංකාවෙන් තුරන් කිරීමට පියවර

2035 වසර වන විට ක්ෂය රෝගය ලංකාවෙන් තුරන් කිරීමට  පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය කියා සිටියාය.

ඇය මේ බව පැවසුවේ, අද (14) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී 2023 ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් මාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ විශේෂ වැඩමුළුවේදී අදහස් දක්වමිනි.

මෙවර ජාතික ක්ෂය රෝග දිනයේ තේමාව ක්ෂය රෝගය තුරන් කරමු.. ඔවු අපිට පුළුවන්… යන්න බවද සෑම වසරකම මාර්තු 24 වනදා සමරනු ලබන ජාතික ක්ෂය රෝග දිනය මෙවරත් 2023 මාර්තු 24 ක්ෂය රෝගය පිළිබඳව ජනතාව දැන්ම්වත් කරමින් මෙරටින් ක්ෂය රෝගය තුරන් කිරීම සඳහා වඩාත් අර්ථාන්විත ලෙස සමරනු ලබන බවද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම වැඩමුළුවට සහභාගී වූ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහතා ක්ෂය රෝගයෙහි ස්වභාවය සහ එහි රෝග ලක්ෂණ පැහැදිලි කරමින් කියා සිටියේ මාස 06ක් අඛණ්ඩව ප්‍රතිකාර ලබාගැනීමෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන් සුවකරගත හැකි බවයි.

ක්ෂය රෝගය බෝ වන රෝගයක් බවද එය මුල් කාලයේදී ම හඳුනාගනිමින් ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් බවද කියාසිටි විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහතා මෙය සෙම බිඳිති මගින් ව්‍යාප්ත වන බවද අවධාරණය කළේය.

මෙය පෙනහළු වලට බලපාන අතරම දීර්ඝකාලීනව පැවතියහොත් හිසකෙස් සහ නියපොතු වලට හැර ශරීරයේ ඕනෑම අවයවයකට බලපෑ හැකි බවද කියා සිටියේය. ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ක්ෂය රෝගය වැළඳී ඇතැයිද ක්ෂය රෝගය බැක්ටීරියාවක් මගින් සෑදෙන අතර මෙම බැක්ටීරියාව හිරු එළියට විනාශ වන බවද අඳුරේදී දින ගණනාවක් වුවද ජීවී ලෙස පැවතිය හැකි බවද අවධාරණය කළේය.

ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වශයෙන් සති 02කට වඩා පවතින කැස්ස, කෑම අරුචිය, බර අඩුවීම, සවස් කාලයේ පවතින මද උණ ගතිය, දහඩිය දැමීම, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ වේදනාව, බකහින විට සෙමත් සමග ලේ පිටවීම ආදිය පෙන්වාදුන් විශේෂඥ වෛද්‍යවරයා සති දෙකකට වඩා පවතින කැස්ස හෝ වෙනත් රෝග ලක්ෂණයක් පවතී නම් හෝ ඉහත රෝග ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයක් පවතීනම් රජයේ රෝහලක් වෙත ගොස් ක්ෂය රෝග පරීක්ෂාවක් සිදුකරගැනීම වැදගත් බවද පැවසුවේය.

මෙරට ක්ෂය රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවද, එය 46%ක් පමණ යැයිද, එයින්ද වැඩිම රෝගීන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් 26%ක් පමණ වාර්තා වන බවද සඳහන් කළේය.

Leave a Reply