2023 මුල් මාස දෙක තුල සංචාරකයන්ගේ වර්ධනයක්

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබූ සංචාරක ක්ෂේත්‍රයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරමින්, මේ වසරේ පළමු මාස දෙකේ පමණක් විදෙස් සංචාරකයන් 210,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ විදෙස් සංචාරකයන් 102,545 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයන් 107,639 දෙනා සමඟ මේ වසරේ මුල් මාස දෙක තුළ පමණක් විදෙස් සංචාරකයන් 210,184 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

මේ වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 107,639ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන අතර, මෙය පසුගිය 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන 96,507ක් වූ සංචාරක ප්‍රමාණය හා සැසඳීමේදී 11.53%ක වැඩි වීමකි.

මේ අනුව 2023 වසරේ මුල් මාස 2 තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් ගණන 210,184ක් වන අතර පෙබරවාරි මාසය තුළ රුසියා සංචාරකයන් 29,084ක් සහ ඉන්දීය සංචාරකයන් 13,714ක් පැමිණ ඇති අතර, එය පිළිවෙළින් සමස්ත සංචාරකයන්ගෙන් 27%ක් සහ 13%ක් බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මීට අමතරව එක්සත් රාජධානියෙන් 8,575ක්, ජර්මනියෙන් 7,930ක්, ප්‍රංශයෙන් 6,118ක්, ඔස්ට්‍රේලියාවෙන් 3,113ක් සහ කැනඩාවෙන් 3,107ක් ලෙස පසුගිය මාසය තුළ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණි රටවල් අතර වෙයි.

පසුගිය 2022 වසර තුළ විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 700,000 සීමාව ඉක්මවා යමින් 719,978 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර, එය පසුගිය 2021 වර්ෂයට සාපේක්ෂව විශාල වර්ධනයක් බවද එම අධිකාරිය පෙන්වා දෙයි

Leave a Reply