13 හැවිරිදි දැරියකට අතවර කල අයෙකු අත්අඩංගුවට

මාස දහයක පමණ සිට 13 හැවිරිදි බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ පස්දරු පියකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගස්ඕවිට, කුඩමාදුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයා පදිංචි කුඩමාදුව ප්‍රදේශයේ නිවෙසට යාබදව පිහිටි මිතුරු නිවෙසක දැරියක් මෙසේ බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි පැවැසේ. දැරිය පදිංචි නිවෙසට නිතර යන එන මෙම පුද්ගලයා මීට මාස දහයකට පමණ පෙර දිනක එහි ගිය අවස්ථාවේදී දැරියට අයිස්ක්‍රීම් ලබාදෙන බව පවසා රාත්‍රි නිවෙසට යාබද වෙළෙඳසලකට රැගෙන ගොස් තිබේ.

පසුව ආපසු නිවෙසට එමින් සිටියදී දැරිය රවටා කුඩමාදුව සුසාන භූමිය ඉදිරිපිට මාර්ගයේ අලුතෙන් ඉදිකරන පාළු ගෙයකට රැගෙන ගොස් දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි මූලික  විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය පිළිබඳව දැරිය මවුපියන්ට පවසා නොමැති අතර මාස දහයකට පමණ පසුව දැරිය හා සැකකරු අතර පවතින සම්බන්ධතාව පිළිබඳව ඇති වූ සැකයක් මත පියා මේ බව ජාතික ළමාරක්ෂක අධිකාරියට දැනුම්දී තිබේ.

පසුව මේ පිළිබඳව මත්තේගොඩ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව මාස 10ක පමණ සිට දැරිය අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට වාර්තා වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ

සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහා ම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියෙකුගේ යුතුකම ඉටු කරන්න.)

Leave a Reply