හෘදයාබාධයකට ලක් වූ කාන්තාව බේරා ගත් යුද හමුදා නිලධාරියාට මල් මිටක්

පුත්තලම සිට කුරුණෑගල දක්වා ගමන් ගනිමින් තිබූ බස් රථයක සිටි කාන්තාවකට හදිසියේ හෘදයාබාධයකට ලක්වී අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී වහාම මැදිහත් වූ යුද හමුදා නිලධාරියකු එම කාන්තාවට කඩිනම්ව බස් රථය තුළදීම අදාළ පළමු ප්‍රථමාධාර ලබා දී වහාම ආණමඩුව රෝහලට ඇතුළත් කර ජීවිතය බේරාගැනීමේ සිදුවීමක් ආණමඩුව රෝහලින් වාර්තා වෙයි.

මෙසේ හදිසි හෘදයාබාධයකට ලක්වී ඇත්තේ කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ ඉඩම් අංශයෙ නිලධාරිනියකි.

ඇය පසුගිය 24 වැනිදා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සැසියකට සහභාගි වී ආපසු නිවෙස බලා ලංගම බස් රථයකින් ගමන් කරමින් සිටියදී කොට්ටුකච්චිය ප්‍රදේශයේදී දරුණු හෘදයාබාධයකට ලක්වී ඇති අතර, කෙඳිරිගාමින් දැඩි වේදනාවෙන් පසුව ඇත.

ඒ මොහොතේ බස් රථයේ පුත්තලමේ රාජ්‍ය හා පුද්ගලික ආයතනවල සේවය කර ආපසු නිවෙස් බලා ගමන් කරමින් සිටි 60කට ආසන්න පිරිසක් බස් රථයේ ගමන් කරමින් සිට ඇත.

නමුත් ඒ පිරිසෙන් බහුතරයක් අදාළ ඉඩම් අංශ නිලධාරිනියට අසාධ්‍ය බව පවසමින් සිටියද ඒ වෙනුවෙන් ඉදිරිපත්ව කිසියම් වූ ප්‍රතිකාරයක් ලබා දීමට ඉදිරිපත් නැත.

නමුත් මෙම සිදුවීම දුටු එම බස් රථයේ ගමන් කරමින් සිටි යුද හමුදා නිලධාරියෙක් බස් රථයේ ගමන් කළ පුද්ගලික රෝහල් සේවිකාවක් කැඳවා හෘදයාබාධයකදී කළ යුතු පළමු ප්‍රථමාධාර ලබා දෙමින් ඇගේ ජීවිතය බේරා ගැනීමට දැඩි වෙහෙසක් ගත් බව බස් රථයේ ගමන් කළ මගීන් පවසයි.

ඒ වන විටත් දරුණු හෘදයාබාධයකට ලක්ව සිටි කාන්තාවට යුද හමුදා නිලධාරියාගේ පළමු ප්‍රථමාධාරය ලබාදීම සිදුකරමින් සිටියදී 1990 හදිසි ගිලන් රථ සේවාව ලබා ගැනීමට ද මහත් උත්සාහයක් ගෙන තිබූ බව පවසයි.

නමුත් 1990 හදිසි ගිලන් රථ සේවාව පැමිණීම ප්‍රමාද වන බව දැන ගත් මෙම යුද හමුදා නිලධාරියා තම මිතුරෙකුට කඩිනමින් අමතා ඔහුගේ වාහනය රැගෙන විත් කොට්ටුකච්චිය ආසන්නයේදී බස් රථයේ අසාධ්‍යව සිටි මෙම ඉඩම් අංශ නිලධාරිනියව දමා ගෙන ආණමඩුව රෝහලට ක්ෂණිකව රැගෙන ගොස් ඇත්තේ බස් රථයේ ගමන් කළ පිරිස පවා මවිත කරමින් බව එහි ගමන් ගත් මගීන් පවසයි.

ආණමඩුව රෝහලට ඇතුළත් කරන විටත් මෙම කාන්තාව දරුණු හෘදයාබාධ තත්ත්වයකින් පසුවී ඇති බවත් යම් හේයකින් තවත් විනාඩි 20ක් ප්‍රමාද වූවා නම් මෙම කාන්තාවගේ ජීවිතය අහිමි වීමට හෝ සදාකාලික රෝගී තත්ත්වයට පත්වීමේ දරුණු අවධානමකට ලක්වීමට ඉඩ තිබූ බව වෛද්‍යවරු පවසා ඇත.

අදාළ ඉඩම් අංශ නිලධාරිනියගේ කිසිවකු නොසිටීම හේතුවෙන් මෙම යුද හමුදා නිලධාරියා අදාළ කාන්තාවගේ සැමියා වාරියපොළ සිට ආණමඩුව රෝහලට පැමිණන තෙක් රැඳී සිට ඔහු පැමිණි පසු රෝගියා භාර දී ගිය බවද රෝහල් ප්‍රකාශකයකු පවසයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම් මාලාව වන විට බස් රථයේ ගමන් කළ බොහෝ පිරිසක් නිහඬව සිටියදී යුද හමුදා නිලධාරියා මැදිහත් වී ඇයගේ ජීවිතය බේරාගැනීම ප්‍රශංසනීය බව මෙම සිද්ධිය දුටු පිරිස් පවසති. සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ අදාළ යුද හමුදා නිලධාරියා මේජ්ර් සුගත් රාජකරුණා නමැති අයකු බවයි. ඔහු ආණමඩුව සුරක්කුලම පදිංචිකරුවකු වන අතර, 4 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සේවය කර මේ වන විට පුත්තලම යුද හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ අනුයුක්ත මාණ්ඩලික නිලධාරියා වෙයි.

දිනමිණ

Leave a Reply