හිටපු නියෝජ්‍ය ඇමති මාස 06කට හිරේ – ප්‍රජා අයිතියත් වසර 07කට අහෝසියි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා ට කොළඹ මහාධිකරණය මාස 06ක සිරදඬුවම් සහ වසර හතකට ප්‍රජා අයිතිය ද අහෝසි කරමින් නියෝග කර තිබේ.

2010 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ 42ක මුදලක් ලබාදීමේ චෝදනාවට ඔහු වරදකරු බවට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

එම දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් පන්සීයක දඩයක් ද නියම කෙරුණු අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබෙන්නේ නම් අමතරව තවත් මාසයක සිර දඬුවමක් නියම කරන බවත් තීන්දුවේ සඳහන් වේ.

වසර හතක කාලයක් සඳහා විත්තිකරුගේ ප්‍රජා අයිතිය ද අහිමි කරන බව එම තීන්දුවේ සඳහන් වේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබාදි තිබේ.

ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරිම නිසා මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ලබාදි තිබේ.

Leave a Reply