ශ්‍රි ලාංකීය ශ්‍රමිකයා ප්‍රංශයේදී කපාකොටා ඝාතනය කරලා

ප්‍රංශයට නීති විරෝධී අයුරින් ඇතුළු වී එරට නිවසක සැඟවී සේවය කළ යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ පුද්ගලයෙකු ප්‍රංශ හාම්පුතා විසින් කපා කොටා ඝාතනය කොට මළ සිරුර කසළ ගොඩක දමනු ලැබ තිබියදී පෙරේදා (26) හමු වී තිබේ.

මෙම පුද්ගලයා මීට මාස කිහිපයකට ඉහතදී ප්‍රංශයේ සේවයට ගොස් ඇති අතර ඔහුට වැඩ කිරීමට වීසා බලපත්‍රයක් නොතිබුණු නිසා ප්‍රංශ ජාතික නිවසක සැඟවී සිටිමින් එම නිවසේ සේවය කර ඇත.

යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ වෙසෙන සිය බිරියට ඔහු සේවය කරන නිවසේ දුරකතන අංකය හා ලිපිනය ලබා දී ඇති අතර පසුගිය සතියේදී ඔහුට කතා කරන විට නිවසේ උදවිය බිරියට පවසා ඇත්තේ ඔහු දින කිහිපයක සිට අතුරුදන් වී සිටින බව ය.

බිරිය විසින් මේ බව ප්‍රංශයේ බලධාරීන්ට අභියාචනයක් මගින් ප්‍රකාශ කොට අතුරුදන් වූ තම සැමියා සොයා දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබ තිබේ.

ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ ප්‍රංශයේ විලුපේ (Villeupe) ප්‍රාන්ත බලධාරීන් හා පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ ඔහු ඝාතනය කර ඇති බවකි.

මියගිය පුද්ගලයා සේවය කළ නිවසේ අනෙක් සේවකයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හා සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීම්වලදී ඔහු කපා කොටා ඝාතනය කළ අන්දම හෙළි වී ඇත.

නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ සේවකයන් ලාංකික පුද්ගලයාගේ මළ සිරුර කසළ ගොඩක දමා තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ.

ප්‍රංශයේ විලුපේ (Villeupe) ප්‍රදේශයේ ප්‍රාන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply