ශ්‍රි ලංකාවෙන් මෙතෙක් වාර්තා වු වැඩිම වී අස්වැන්න දකුණු පළාතෙන්

මෙතෙක් ශ්‍රි ලංකාවේ කුඹුරු අක්කරයකට ලැබූ වැඩිම වී අස්වනු ප්‍රමාණය වාර්තා කිරීමට අම්බලන්තොට ප්‍රදේශයේ ගොවීන් සිව්දෙනෙක් මෙවර මහ කන්නයේ දී සමත්ව තිබේ.

ඒ අනුව රිදියගම පදිංචි කේ.පී. ඩී. ඊ. ජයසේකර, මාලා පරණවිතාන හා ජී. අබේසිංහ ගොවි මහත්ම මහත්මීන් අක්කරයකට වී බුසල් 215 හෙවත් වී කිලෝග්‍රෑම් 4407.5ක් වාර්තා කර ඇති අතර මයුරපුර පදිංචි ජානක නුවන් දිසානායක මහතා අක්කරයකට වී බුසල් 195ක් හෙවත් වී කිලෝග්‍රෑම් 3997.5ක් වශයෙන් වාර්තා කර තිබේ.

මෙම ගොවීන් සියලු දෙනාම වගා කර තිබෙන්නේ අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දී තිබෙන At 362 නමැති වී ප්‍රභේදයයි.

බතලගොඩ වී පර්යේෂණායතනය කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාට ඉදිරිපත් කළ වාර්තාවක් මඟින් මේ බව අනාවරණය වී ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති උපදෙස් පරිදි යුරියා පොහොර මෙන්ම කාබනික පොහොර මෙම ගොවීන් විසින් යොදා ඇත. ඊට අමතරව පිලිස්සූ පිදුරු හා දහයියා අළු හා බන්ඩි පොහොර යෙදීම ද සිදු කර තිබේ.

මෙතෙක් අප රටින් වාර්තා වූ වැඩිම වී අස්වනු ප්‍රමාණය මෙය වන අතර ඔවුන් විසින් හෙක්ටෙයාර් එකකට ලද වී අස්වැන්න මෙට්‍රික් ටොන් 10 ඉලක්කය ඉක්මවා තිබීම ද විශේෂත්වයක් බව බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා පවසයි.

පසුගිය මහ කන්නයේ වැඩිම වී අස්වනු ලද වෙනත් ගොවීන් වේ නම් ඒ සම්බන්ධව සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයාට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී ඇත.

Leave a Reply