වෙඩි වැදී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් රක්ෂිතයක

වෙඩි වැදීමෙන් ඝාතනයට ලක් වූ වන අලියෙකුගේ සිරුරක් කැකිරාවේ ගනේවල්පොල ප්‍රදේශයේ රක්ෂිතයක තිබී වනජීවී නිලධාරීන් විසින් ඊයේ (08) සොයා ගෙන තිබේ.

උස අඩි 09කට ආසන්න වයස අවුරුදු 25ක් පමණ වන එම අලියා මීට දින 2කට පමණ ඉහත දී මෙලෙස ඝාතනය කරන්නට ඇතැයි වනජීවි නිලධාරීන් අනුමාන කර තිබේ.

ගනේවල්පොල වනජීවි අඩවි කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසියක දීයි රිටිගල රක්ෂිතය ආසන්නයේ වූ හිනුක්කිරියාවල උල්පත රක්ෂිතයේ තිබී එම අලියාගේ මළ සිරුර සොයා ගෙන තිබේ.

ඊයේ (08) පස්වරුවේ එහි පැමිණි අනුරාධපුර පණ්ඩුලගම වනජිවි පශු වෛද්‍ය නිලධාරීන් මිය ගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර වෙඩි වැදීමකින් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුව ඇති හානි හේතුවෙන් එම අලියා මරණයට පත්ව ඇති බව එහිදී අනාවරණය වී තිබේ.

වන අලියාගේ ඝාතනය කල අය සොයා ගනේවල්පොල වනජිවි කාර්යාලයේ නිලධාරීන් මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ

Leave a Reply