ලෝක ප්‍රසිද්ධ බෝනවිස්ටා කොරල් පරය (රූමස්සල විත්ති 03)

රූමස්සල කඳු වැටිය පාමුල ගාලු බෝක්ක තුල පිහිටි බොනවිස්ටා කොරල් පරය ලොව ඉහළම ජෛව විවිධත්වයක් සහිත ජලජ ජිවි පද්ධතියක් බව හෙලිවි ඇත. එසේම සුන්දරත්වය අතින් බොනවිස්ටා කොරල් පරය ශ්‍රි ලංකාවේ දැකිය හැකි ස්වභාව ධර්මයේ අති විශිෂ්ට වු දුර්ලභ නිර්මාණයකි.

ශ්‍රි ලංකාවේ කොරල් පර පද්ධතියකින් වාර්තාවි ඇති වැඩිම මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව වන විශේෂ 491 ක් මෙම කොරල් පරයෙන් වාර්තා වි ඇත.ශ්‍රි ලංකාවේ ගොඩබිම හමුවන ඉහලම ජෛව විවිධත්වයක් සහිත පරිසර පද්ධතිය වන සිංහරාජ වනයෙන් මෙතෙක් හමුවි ඇති සියලුම සත්ව විශේෂ සංඛ්‍යාව 350 ක් පමණ වේ.එහෙත් රූමස්සල බෝනවිස්ටා කොරල් පරයෙන් පමණක් මත්ස්‍ය විශේෂ 491 පමණ හමුවි තිබිම සුවිශේෂි කරුණකි. ලෝක ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයේ (Great Barrier Reef) එක් කොරල් පරයක හමුවි ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 500 නොඉක්මවයි. ඒ අනුව බොනවිස්ටා කොරල් පරයද ඊට නොදෙවැනි තැනක් ගනි.

තවද ලෝක සංරක්ෂිත සංවිධානය (IUCN) විසින් ප්‍රකාශිත 1993 ජාතික තත්ත්ව වාර්තා මඟින් තර්ජනයට ලක්ව ඇතැයි නම් කර ඇති මත්ස්‍ය විශේෂ 72 න් 36 ක්ම බොනවිස්ටා කොරල් පරයේ ජිවත් වේ. එසේම මෙහි හමුවන මත්ස්‍ය විශේෂ 64 ක්ම මෙම කොරල් පරයේ හැරෙන්නට ශ්‍රි ලංකාවේ කිසිම කොරල් පරයකින් වාර්තා වි නැත.

කොරල් පරයක විශේෂත්වය මනිනු ලබන එක් මිනුමක් වන්නේ එහි හමුවන පනාවන් (Butterfly Fish) සංඛ්‍යාවයි. ශ්‍රි ලංකාවේ මේ වන විට හමුවි ඇති පනාවන් විශේෂ 36 න් 25 ක්ම මෙම කොරල් පරයේන් හමුවි ඇත. 71% ක්ම සජිවි කොරල් වලින් සමන්විත වන මෙම කොරල් පරය කෙතරම් වැදගත් ජාතික සම්පතක්ද යන්න ඉහත තොරතුරු මගින් පැහදිලිවේ. 
නමුත් අද වන විට මෙම කොරල් පර පද්ධතියට අත්වෙමින් ඇත්තේ ඉතා කණගාටුදායක ඉරණමකි. කාර්මිකරණය හා නාගරිකරණය ප්‍රතිඵලයක් ලෙස ගාලු බෝක්කට මුදා හරින ඝන අපද්‍රව්‍ය සහ බැරලෝහ අඩංගු විෂ රසායන හේතුවෙන් ලෝක ප්‍රසිද්ධ බොනවිස්ටා කොරල් පරය නම්වු සයුර තුල නිධන්ව ඇති මහා සම්පත ජාතියට අහිමි වෙමින් පවති.
✍️ ෆර්හාන් නිසාම්දින් 


රූමස්සල බෝනවිස්ටා කොරල් පරය වෙනුවෙන් නිකුත් කල මුද්දරය  

රූමස්සල කොරල් පරය 

බෝනවිස්ටා කොරල් පරය පිහිටි සුදු වැල්ල

Leave a Reply