ලෝකයේම අවධානය හෙට සිට කටාර් රාජ්‍යයට

ලොව විශාලතම ප්‍රේක්ෂක පිරිසකට හිමිකම් කියන අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය වන FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේදී හෙට (20) සිට ආරම්භ වේ.

දින 29ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 18වැනිදා දක්වා කටාර් රාජ්‍යයේ පැවැත්වෙන අතර පාපන්දු ලෝක කුසලානයේ 22 වැනි අදියර මෙලෙස පැවැත්වේ.

2002 වසරේ දකුණු කොරියාවේ සහ ජපානයේ පැවති තරගාවලියෙන් පසුව ආසියාවේ පැවැත්වෙන පළමු පාපන්දු කුසලාන තරගාවලිය මෙය වේ. එමෙන්ම අරාබිකරයේ එතෙක් මෙතෙක් පැවැත්වෙන පළමු පාපන්දු කුසලානය මෙය වේ.

මෙවර තරගාවලිය නැරඹීම සඳහා දැනටමත් අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් කටාර් රාජ්‍යය බලා පැමිණ සිටින අතර, තවත් විශාල පිරිසක් ලෝක පාපන්දු සම්මේලනයේ වෙබ් අඩවියේ ‘ඔන්ලයින් ටිකට්’ පෝලිමේ රැඳී සිටින බව වාර්තා වේ. විශේෂයෙන් අරාබි ලෝකයේ පවත්වනු ලබන පළමු ලෝක කුසලාන තරගාවලිය බැවින් ඊට මැදපෙරදිග කලාපයේ ද වැඩි උනන්දුවක් යොමු වී තිබේ.

හෙට සිට දෙසැම්බර් මස 2 වැනිදා දක්වා මූලික වටයේ තරග පැවැත්වෙන අතර, අවසන් 16 දෙනාගේ දෙවැනි වටය දෙසැම්බර් 3 වැනිදා ඇරැඹේ. අනතුරුව දෙසැම්බර් මස 9 සහ 10 අර්ධ අවසන් පූර්ව වටයත්, 13 සහ 14 දෙදින අවසන් පූර්ව වටයත් පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරගය දෙසැම්බර් 18 වැනිදා පැවැත්වෙන්නේ එදිනට කටාර් දේශයේ ජාතික දිනය යෙදී ඇති බැවිනි. ඊට පෙර දෙසැම්බර් 17 වැනිදා තුන්වැනි ස්ථානය සඳහා වන තරගය පැවැත්වෙනු ඇත.

අවසන් වරට 2018 රුසියාවේ පැවැති තරගාවලියේදී ක්‍රොඒෂියාව ගෝල 4-2කින් පරාජය කරමින් ලෝක ශුරයන් වූ ප්‍රංශය මෙවරත් කුසලානය ජයගැනීමේ වාසනාවන්ත කණ්ඩායම් අතරට එක් වී සිටී. පසුගියදා ජාත්‍යන්තර පාපන්දු විචාරකයන්ගේ විවිධ අනාවැකිවලට අනුව මේ වන විට ලෝක පාපන්දු සම්මේලන ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන බ්‍රසීලය කුසලානය දිනා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතී. එතෙක් මෙතෙක් වැඩිම වාර ගණනක් පාපන්දු කිරුළ ජයගත් කණ්ඩායම වන බ්‍රසීලය අත්කරගත් කුසලාන සංඛ්‍යාව 5කි. ජර්මනිය, ආජන්ටිනාව, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය ද ඒ අතර සිටී

සිය දස්කම් උරගා බලමින් ලෝක පාපන්දු පිටියේ සුපිරි ක්‍රීඩකයන් හඹා යන ලෝක කුසලාන තරගාවලියේ මෙවර ශූරයන්ට පිරිනැමෙන මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන 44කි. එය ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ විශාලතම තෑගි මුදල බවට පත්වනු ඇත. ඒ අනුව 2018 වසරේ අවසන් වරට රුසියාවේ පැවැති තරගාවලියේදී ශූරයන්ට හිමි වූ මුදලට වඩා මෙවර ඩොලර් මිලියන 40ක් වැඩි කර ඇත. මීට අමතරව අනුශූරයන්ට ඩොලර් මිලියන 30ක් ද තුන්වැනි ස්ථානයට ඩොලර් මිලියන 27ක් ද සිව්වැනි ස්ථානයට ඩොලර් මිලියන 25ක් ද පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 32ට ඇතුළත් සියලුම කණ්ඩායම්වලට ඩොලර් මිලියන 9ක් බැගින් මුදල් තෑගි පිරිනැමෙන අතර, බෙදා දෙන සමස්ත ත්‍යාග මුදල ඩොලර් මිලියන 440කි. ඒ අනුව හෙට කටාර් දේශයේදී ආරම්භ වන්නේ ඉතිහාසයේ ධනවත්ම පාපන්දු ලෝක කුසලාන තරගාවලියයි.

Leave a Reply