රුපියල ඉහළ ගිය වාසිය ජනතාවට දෙන්න වැඩපිළිවෙළක්

රජය ගත් සුවිශේෂ අර්ථික තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමේ වාසිය ජනතාවට දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

වෙළෙඳපොළේ ඇති භාණ්ඩවලින් 75%ක් පමණ ආනයනිත භාණ්ඩ බැවින් ඩොලරයේ අගය අඩු වන විට ඊට සාපේක්ෂව එම භාණ්ඩවල මිල ගණන්ද සාධාරණ කාලසීමාවක් තුළ අඩුවිය යුතු බව ඔහු ප්‍රකාශ කර තිබේ.

උත්සවයකින් අනතුරුව ඊයේ (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

භාණ්ඩවල මිල අඩු කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික සේවා අධිකාරිය හා එක්ව සමීක්ෂණයක යෙදෙන බව රාජ්‍ය ඇමැතිවරයා එහිදී සඳහන් කළේ.

ගොඩනැඟිලි ද්‍රව්‍ය ආහාර වර්ග හා කෘෂි කර්මාන්තයට සම්බන්ධ ද්‍රව්‍ය හා උපකරණ මිල ගණන් මෙන්ම පාසල් උපකරණ ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් කෙසේ අඩු වන්නේද, එසේ අඩු නොවන්නේ නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න ‍අදාළ සමීක්ෂණය මඟින් සොයා බලන බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසීය.

Leave a Reply