මෙරට වසරකට අපතේ යන ආහාර මිලියන 10ක ජනතාවකට කන්න දෙන්න පුළුවන්

ශ්‍රී ලංකාවේ වගා කරන එළවළුවලින් සියයට 19ක් හා පලතුරුවලින් සියයට 21ක් වසරකට ප්‍රවාහනයේ දී විනාශ වන බව අනාවරණය වී තිබේ.

නිසි ප්‍රවාහන කටයුතු අනුගමනය නොකිරීම නිසා වාර්ෂිකව පාරිභෝජනයට ගත නොහැකිවන එළවළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 221,955ක් වන අතර පලතුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 290, 151කි.

වසර 2021 දී පමණක් රටේ අපතේ ගිය ආහාර ප්‍රමාණය සලකා බැලූ විට එය තවත් පුද්ගලයන් මිලියන 10කට ආහාර සැපයීමට තරම් ප්‍රමාණවත් බව ද අනාවරණය වී ඇත.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සහ විශ්වවිද්‍යාල කිහිපයක ආචාර්ය මහාචාර්යවරුන් සමඟ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ පැවැති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ අවධානය යොමු කළ කෘෂිකර්ම ඇමැතිවරයා අවධාරණය කළේ අප රටේ දැනට විධිමත් ආහාර පර්යේෂණාගාරයක් නොමැතිවීම බරපතළ අඩුපාඩුවක් බවයි.

වසර 2011දී මෙරට පිහිටුවන ලද ආහාර විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ආයතනයට සමගාමීව ශ්‍රී ලංකාවේ සියලු පහසුකම්වලින් සමන්විත ප්‍රථම ආහාර පර්යේෂණාගාරයක් ස්ථාපිත කිරීම සඳහා මෙහිදී සාකච්ඡා වූ අතර 2016 දී මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණත්, එම කාර්යය මෙතෙක් ඉටු නොවීම නිසා නැවත අලුතින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට ද මෙම සාකච්ඡාවේ දී ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත්, ලැබෙන අස්වනුවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් පසු අස්වනු හානිය නිසා රටට අහිමිවන බවත් එමෙන්ම අපතේ යන ආහාර ප්‍රමාණය ද නාගරිකව ගත් කළ ඉතා ඉහළ මට්ටමක පවතින බවත් තමන්ට තොරතුරු වාර්තා වී ඇතැයි ද ඇමැතිවරයා මෙම සාකච්ඡාවේදී කරුණු හෙළි කර ඇත.

Leave a Reply