මඩේ එරී තනියා මරුට

කරුවලගස්වැව, එගොඩපිටිය, පෙරියවිල්ලුව වැවේ මඩේ එරී ගොඩ ඒමට නොහැකි වූ තනියා නැමැති සද්ධන්ත වන අලියකු අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබෙන බව වනජීවි නිලධාරීන් පවසයි.

මෙම වන අලියා පසුගිය 2 වැනිදා අලුයම් කාලයේ පෙරියවිල්ලුව වැවේ ජලය සිඳී ගිය ප්‍රදේශයේ ජපන් ජබර තිබූ ස්ථානයෙන් ගමන් කරමින් සිටියදී එක් පාදයක් මඩේ එරී එය අපහසුවෙන් ගොඩ ගෙන නැවත ගමන් කිරීමට යාමේදී ඉදිරිපස පාදය සම්පූර්ණයෙන්ම මඩේ එරීමෙන් පසු ඇතිවූ රෝගී තත්ත්වයකින් මරණයට පත්වී ඇති බව අනාවරණය වි තිබේ.

අවුරුදු 35කට ආසන්න වයසකින් යුත් මෙම වන අලියා උසින් අඩි 8කට වැඩිය. සද්ධන්තයා තනිව සැරිසැරීම හේතුවෙන් මිනිසුන් තනියා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීමට කටයුතු කර ඇත.

කෙසේ නමුත් මෙම සද්ධන්තයා මඩේ එරී යාමත් සමඟ තනිව ගොඩ ඒමට දැඩි වෙහෙසක් ගෙන ඇත. මෙම වන අලියා ප්‍රදේශයේ භෝග වගාවන් වනසා සැරිසැරීම සිදුව ඇති නමුත් මඩේ එරී සිටිනු ඇසීමෙන් ජනතාව මහත් කම්පාවට පත්ව තනියාගේ අවාසනාවන්ත ඉරණම් මරණය බැලීමට පැමිණි තිබුණි.

මඩේ එරී මරණයට පත්වූ තනියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබිණ.

Leave a Reply