බිත්තර හිඟ කාලේ රිලා රංචුවක් වෙළඳසලකට පැන බිත්තර බීලා

වෙළෙඳසල වසා ගිය අවස්ථාවේදී වහලයේ උළු ඉවත් කොට ඇතුළු වූ රිළා රංචුවක් වෙළෙඳසලේ තිබූ බිත්තර තොගයක් ඇතුළු අලෙවි කිරීමට තිබූ භාණ්ඩ රැසකට හානි කළ පුවතක් මොරගොල්ලාගම, සියඹලන්ගමුව ප්‍රදේශයෙන් වාර්තාවේ

ව්‍යාපාරිකයෙකු විසින් මෙලෙස රිළවුන් නිවෙසට හා වෙළෙඳසලට ඇතුළුවීම වළක්වා ගැනීමට රුපියල් හැත්තෑ පන්දහසකට වැඩි මුදලක් වැයකර වටේට දැල් ආවරණය කොට තිබියදී මෙම රිලා රංචුව වෙළඳසලට කඩාපැන තිබේ

වෙළෙඳසල් හිමියා සිද්ධිය විස්තර කළේ මෙලෙසය. “අපේ ගම තිබෙන්නේ කහල්ල, පල්ලේකැලේ රක්ෂිතය අවට. මේ නිසා එදා ඉඳලාම අලින්ගෙන් බැටකන මුළු ගමටම දැන් එල්ලවෙන රිළා කරදරය අලි කරදරයට වඩා හානිදායකයි.

ඔවුන් මගේ ගෙටත් රිංගනවා. කඩේටත් රිංගනවා. කිසිදෙයක් තියෙන්න දෙන්නේ නැහැ. ඔවුන් එන්නේ වහලයේ බිත්තියේ තිබෙන හිදැස් අතරින්. මේ නිසා ජනෙල් කවුළු හා වහලයේ තිබෙන බිත්තිය හා උළු අතරේ හිදැස් වැහෙන්න වටේටම දැල් ආවරණය කෙරුවා. කම්බි දැල් හා යකඩ ප්‍රේම්වලට 75,000ක් විතර වියදම් වුණා. රිළා කරදරෙන් ගේත් කඩේත් ආරක්ෂා කර ගත්තා කියලා සැනසීමෙන් හිටියා.

මං ඉකුත් දිනක උදේ කඩේ වහලා පිටතට ගියා. ගිහින් එන අතරේ වහලයේ උළු අයින් කරලා ඒ අතරින්  කණුවක් දිගේ බිමට බැහැලා කඩේ ඇතුළේ බිත්තර පෙට්ටියේ තිබුණු බිත්තර 150ක් විතර ඉවර වෙන්නම බිඳ දාලා බීලා. බිත්තර හානිය විතරක් අට දාහකට වැඩියි. පරිප්පු, හාල් ඇතුළු කඩේ තිබුණු සියල්ල විනාශ කරලා තියෙනවා දැක්කා.

උඩ තිබුණු අපේ පොටෝ, බුදු පින්තූර, දේව පින්තූර ඔක්කෝම පෙරළලා බිඳලා දාලා. බිත්තර අරගෙන යන්න යද්දී බිත්තර වැටිලා බිඳිලා. බිත්ති උඩ, රාක්කවල, වහලේ පවා බිත්තර මද සීසීකඩ විසිවෙලා. ගන්දස්සාරේ බැහැ. පස්සේ මුළු කඩේම බඩු අස් කරලා බිම, බිත්ති විතරක් නෙවෙයි ඇතුළු පැත්තෙන් උළු පවා හෝදලා සෙන්ට් එකක් ගහලා තමයි නැවත කඩේ ඇරියේ. මේක අපේ ගමටම තිබෙන හිසරදයක්. ගෙවල් තියාගන්නත් බැහැ. වත්තක වගා කරන්නත් බැහැ. සියල්ල විනාශයි. කාට කීවත් විසඳුමකුත් නැහැ.

Leave a Reply