බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් අද කිරුළ පලඳී

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන්හි වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී අද (6) පැවැත්වීමට නියමිතව ඇත.

මේ රාජාභිෂේක උලෙළට සහභාගි වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ළඟා වී සිටී.

දෙවැනි එලිසබත් රැජනගේ රාජාභිෂේක උත්සවයට 1953 වසරේදී අට දහසකට ආසන්න පිරිසක් සහභාගි වුවත් මෙවර තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වන පිරිස 2,000 දක්වා සීමා කිරීමට චාල්ස් රජු තීරණය කර ඇත. රාජාභිෂේක උත්සවයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් 5,000ක් පමණ සහභාගි වීමට නියමිත අතර, රාජාභිෂේක උත්සවය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ආරක්ෂක මෙහෙයුම ලොව උත්සවයක් වෙනුවෙන් දියත් කරනු ලබන විශාලතම හමුදා මෙහෙයුම්වලින් එකක් බවද වාර්තා වෙයි.

රාජාභිෂේක උත්සවයේදී එක්සත් රාජධානිය සන්නද්ධ හමුදාවල සේවය කළ ප්‍රවීණයන් සහ සෞඛ්‍ය සේවකයන් 4,000කට පමණ බකිංහැම් මාලිගය ඉදිරිපිට ඉදි කරන විශේෂ ශාලාවක රාජාභිෂේක පෙරහර නැරඹීම සඳහා අසුන් ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

මේ අතර රාජාභිෂේක උත්සවයට සසෙක්ස්හි ආදිපාදිවරයා වන හැරී කුමරු සහභාගි වුවත් සසෙක්හි ආදිපාදවරිය වන මේගන් මාර්කෙල් කුමරිය සහභාගි නොවීමට තීරණය කර ඇත.

චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට ආරාධනා නොලත් පාර්ශ්ව අතර රුසියාව සහ මියන්මාරය යන රටවල්ද වේ. එසේම ඇන්ඩෘ කුමරුගේ හිටපු බිරිය වන සාරා ෆර්ගියුසන් හටද රාජාභිෂේක උත්සවය සඳහා ආරාධනා කර නැත.

Leave a Reply