බස් රථයක් ඉස්සු පාසල් සිසුන් දෙදෙනෙකු අත් අඩංගුවට

හෝමාගම, ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් සොරා ගත් බව කියන පහළොස් හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු සොරාගත් බස් රථය ද සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි 15 හැවි‍රිදි පාසල් සිසුන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

හෝමාගම – පිටකොටුව  බස් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් ඉන්ධන ලබා ගැනීම සඳහා ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පෝලිමේ නවතා තිබියදී එක්වරම බස් රථය පණ ගන්වා කිසියම් පුද්ගලයකු රැගෙන පලා යන අයුරු ඉන්ධන පෝලිමේ රැඳී සිටි වෙනත් රියදුරකු දැක ඇතැයි පැවසේ. ඒ බව එම බස් රථයේ හිමිකරුට දැනුම් දීමත් සමග ඔහු ක්ෂණයකින් එම ස්ථානයට පැමිණ එහි සිටි පිරිසගෙන් තොරතුරු විමසා බස් රථය සොයා බසය ධාවනය වූ දෙසට ත්‍රිරෝද රථයකින් ගොස් තිබේ.

මේ යන අතරතුරදී සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියට හා බස් රථයේ හිමිකරු ගේ හිතවතුන්ට දන්වා බස් රථය සෝදිසි කරමින් ගොස් ඇති අතර ඒ සමගම පොලිස් නිලධාරීන් ද බස් රථය ලුහු බදිමින් ගොස් තිබේ.

මේ අතරතුරදී හෝමාගම ප්‍රදේශයේ දන්සලක් පැවති ස්ථානයක බස් රථය නවතා ඇති අතර එම අවස්ථාවේදී බස් රථයේ රියදුරු බාලවයස්කරුවකු බව එහි සිටි පුද්ගලයකු දැක ඔහුගෙන් රියදුරු බලපත්‍රයක් තිබේදැයි විමසා තිබේ.

එම අවස්ථාවේ දී රියදුරු බලපත්‍රයක් නොමැති බවට අනාවරණය වීමත් සමඟ තවත් පුද්ගලයකුගේ මාර්ගයෙන් බස් රථයේ හිමිකරුට ඒ බව දන්වා තිබේ.

ඒ අනුව බස් රථයේ හිමිකරු පොලීසියද සමඟ එම ස්ථානයට පැමිණ බස් රථය සහ සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබේ

Leave a Reply