බගවන්තලාවේදී මියගිය කොටියාගේ කකුල් හතරයි හමයි දතුයි ගලවන් ගිහින්

බගවන්තලාව වත්තේ ශ්‍රී පාද රක්ෂිතයට මායිම්ව පිහිටි ඉඩමක අබිරහස් ලෙස මියගොස් සිටි හොඳින් වැඩුණු කඳුකර කොටියකුගේ සිරුරක් ඊයේ (01) හමු වූ බව බගවන්තලාව පොලිසිය පවසයි.

එහි මියගොස් සිටි කොටියාගේ පාද හතර, සම සහ කොටියාගේ දත් කිසියම් පිරිසක් ගලවාගෙන ගොස් ඇති බවත් බගවන්තලාව පොලිසිය පවසයි.

රක්ෂිතයට මායිම්ව මියගිය කඳුකර කොටියකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් ලබාදුන් තොරතුරක් මත අබිරහස් ලෙස මියගොස් සිටි කඳුකර කොටියාගේ සිරුර හමු වූ බව බගවන්තලාව පොලිසිය පවසයි.

දඩයම්කරුවන් සතුන් දඩයම් කිරීම සඳහා තේ වත්තේ අටවන ලද මන්දකට කඳුකර කොටියා හසු වී මියයෑමෙන් පසු කොටියාගේ සිරුර දඩයම්කරුවන් ගෙනැවිත් දමන්නට ඇති බව පොලිසිය සැක කරයි.

අබිරහස් ලෙස මියගිය කඳුකර කොටියාගේ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දුන් බව බගවන්තලාව පොලිසිය පවසයි.

Leave a Reply