පෝලන්තයට වැටුණේ යුක්රේන මිසයිලයක් NATO කියයි

පෝලන්තයේ ගම්මානයකට එල්ල වු මිසයිල ප්‍රහාරය යුක්රේන හමුදාවේ මිසයිලයක් බව NATO සංවිධානය කළ විමර්ශනයකදී අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පෝලන්ත යුක්රේන දේශසීමාවේ පිහිටි ප්‍රෙස්වෝඩෝව් ගම්මානයට ඉකුත් 12 වැනිදා එල්ල වුණු මෙම මිසයිල ප්‍රහාරයෙන් පෝලන්ත වැසියෝ දෙදෙනෙක් මියගොස් තිබේ.

මිසයිල ප්‍රහාරය එල්ල වුණු සැණින්, එය එල්ල කළේ රුසියානු හමුදාව යැයි චෝදනා එල්ල විය. පසුව පෝලන්ත විදේශ අමත්‍යාංශය එරට සිටින රුසියන් තානාතාපති කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ.

මේ අතර මෙම මිසයිල ප්‍රහාරය එල්ල කළේ රුසියානු හමුදාව බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ යුක්රේන හමුදාව පැවසීය නමුත් තමන් එම මිසයිල ප්‍රහාරය එල්ල නොකළ බව රුසියන් හමුදාව තරයේ කියා සිටියේය.

මේ අවස්ථාවෙදී තමන් ඉක්මන් තීරණවලට එලඹෙන්නේ නැති බවත් නේටෝ විමර්ශන කටයුතු අවසන් වනතුරු බලා සිටින බවත් පෝලන්ත අග්‍රාමාත්‍යවරයා පැවසීය.

පෝලන්තයේ ප්‍රෙස්වෝඩෝව් ගම්මානයට එල්ල වුණු මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වූ පසු නේටෝ ප්‍රධානී ජෙන්ස් සොල්ටෙන්බර්ග් කියා සිටියේ මිසයිලය යුක්රේන හමුදාව විසින් එල්ල කරනු ලැබූවක් බවත්, එය අත්වැරදීමකින් ප්‍රෙස්වෝඩෝව් ගම්මානයට එල්ල වී ඇති බවත්ය.

එසේ වුවත්, නේටෝ ප්‍රධානියා ඒ සම්බන්ධයෙන් ද රුසියාවට චෝදනා කර තිබේ. යුක්රේන හමුදා මිසයිල ප්‍රහාර එල්ල කරන්නේ රුසියාව යුක්රේන නගරවලට මිසයිල ප්‍රහාර එල්ල කරන බැවින් යැයි නේටෝ ප්‍රධානියා පවසා ඇත්තේ යුක්රේන රජයට සහ හමුදාවට සහාය පළ කරමිනි.

Leave a Reply