පීඩන අවපාතය ඊසාන දිග වෙරළට

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය අනිද්දා තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී ඊසානදිග වෙරළ තීරයට ළඟාවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනිත් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙහි බලපෑමෙන් මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ මධ්‍යම සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

Leave a Reply