පිළිකා රෝගීන්ගේ ගිණුම්වලින් මුදල් වංචා කල පුද්ගලයෙකුට වසර තුනක සිරදඬුවම්

පිළිකා රෝගීන් දෙදෙනකු රවටා ඔවුන්ගේ බැංකු ගිණුම්වලට අයුතු ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වංචා කරන ලද තරුණයකුට බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවමක් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) නියම කර තිබේ.

මෙම සිද්ධියෙන් අගතියට පත් පිළිකා රෝගීන් දෙදෙනාට රුපියල් ලක්ෂයක වන්දියක් සහ රුපියල් එක්දහස් පන්සියක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියම කළ අධිකරණය වන්දි මුදල් සහ දඩ මුදල් නොගෙවන්නේ නම් අමතර මාස 6ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්ද විත්තිකරුට නියම කර තිබේ.

මරණයත් සමග සටන් කරන අහිංසක පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ඇති මුදල් වංචා කිරීම හේතුවෙන් විත්තිකරුට අදාළ දඬුවම් නියම කරන බව මහෙස්ත්‍රාත්වරයා, තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වූයේ එරාවුර් පදිංචි විත්තිකරුවෙකුටය.

පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ආධාර උපකාර කරන ලෙසට සඳහන් පුවත්පත් දැන්වීමකට අනුව දුරකථන ඇමැතුම් ලබාදී පැමිණිලිකාර පිළිකා රෝගීන් දෙදෙනාගේ බැංකු ගිණුම්වලට අයුතු ලෙස ඇතුළු වී සැකකරු මුදල් වංචා කර තිබෙන බව අධිකරණයේදී අනාවරණය විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය ඒකකය මගින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

Leave a Reply