පැරැණි පෙම්වතිය යතුරුපැදියේ හප්පා තුවාල කළ පෙම්වතා අත් අඩංගුවට

පෙමට පිටුපෑම නිසා කෝපයට පත් වූ තරුණයකු මව සමඟ පයින් ගමන් කරමින් සිටි පෙම්කළ තරුණිය යතුරුපැදියකින් හප්පා  තුවාල කිරීමේ චෝදනා මත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි ඇප කොන්දේසි මත රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කර තිබේ

මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ කටුවැල්ලේගම,තොටිල්ලගහවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකි.

පැමිණිලිකාරිය සහ සැකකරු අතර කලක් ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇති බවත් පැමිණිලිකාරියගේ පාර්ශ්වයෙන් එම ප්‍රේම සම්බන්ධතාවට විරෝධතා මතුවීම නිසා පැමිණිලිකාරිය එම ප්‍රේම සම්බන්ධය නවතා ඇති බවත් පොලිසිය පවසයි.

මිනුවන්ගොඩ, අලුතැපොල ප්‍රදේශයේ පදිංචි  පැමිණිලිකාරිය තම මව සමඟ නිවෙස අසල පිහිටි වෙළෙඳසලක් වෙත පාගමනින් යමින් සිටියදී සැකකරු යතුරුපැදියක් ධාවනය කරමින් පැමිණ පැමිණිලිකාරියට තර්ජනය කර මෙසේ යතුරුපැදියෙන් හප්පා ඇති බව පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

යතුරුපැදියේ ගැටී තුවාල ලත් පැමිණිලිකාරිය මිනුවන්ගොඩ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Leave a Reply