පාරෙන් ඉවතට පැන ජීප් රිය ගසක ගැටී එක් තරුණයෙකු මරුට – 09ක් රෝහලට

අද (08) අලුයම මාතලේ තොටගමුව වෙල්යාය අසලදී ජිප් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවු අනතුරකින් එක් තරුණයෙකු මියගොස් තවත් තරුණයන් 09 දෙනෙකු මාතලේ රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි තොටගමුව වත්ත, පලාපත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බවද පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම තරුණයා මියගොස් තිබේ.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පාසලක 2022 වර්ෂයේ උසස්පෙළ විභාගයට පෙනීසිටි සිසුන් පිරිසක් බව පොලීසිය පවසයි.

පලාපත්වල ප්‍රදේශයේ පිහිටි හෝටලයක සංවිධානය කර තිබූ ඔවුන්ගේ සුහද හමුවක් අවසානයේ ආපසු එමින් සිටිදී මෙම සිසුන් මෙලෙස අනතුරට ලක්වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් මාතලේ පොලීසිය විමර්ශන සිදුකරයි.

Leave a Reply