නිර්දේශ රැසක් සමගින් රිය අනතුරු අවම කරගැනීමේ කමිටු වාර්තාව එලිදකි

මගී ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් හට එක දිගට රිය පදනවන වේලාව පැය තුනක් බවට සීමා කළ යුතු බවත් නැවත රිය පදවන්නේ නම් විනාඩි 30ක විවේකයක් ගැනීම අනිවාර්ය කළ යුතු බවත් නුවරඑළිය හැටන් මාර්ගයේ රදැල්ල සමර්සෙට් විකල්ප මාර්ගයේ පසුගිය ජනවාරි මස 20 වනදා සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් සකස් කළ කමිටු වාර්තාව නිර්දේශ කර තිබේ.

එමෙන්ම මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු රියදුරන් හට දැනට නිකුත් කරනු ලබන පොදු ප්‍රවාහන රියදුරු බලපත්‍රය සියලුම මොර්ටර් කෝච් රථ පදවන රියදුරන් හට අනිවාර්ය කළ යුතු බවටත් එම වාර්තාව මඟින් නිර්දේශ කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පිටු 50කින් යුත් මෙම කමිටු වාර්තාව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට පෙරේදා (13) ඉදිරිපත් කරමින් මේ බව දක්වා තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකට අදාළ වාර්තාව මෙසේ එළි දක්වමින් එහි නිගමන සහ නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර බස් රථවල දර්ශන පථය අවහිර වන කිසිදු ආකාරයක පිළිම, මල්මාලා, රූප, ආලෝකවත් බල්බ් සහ එල්ලෙන පැද්දෙන කිසිවක් සවි නොකරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන් කර තිබේ.

මොර්ටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගේ උපදෙස් මත කුරුණෑගල ප්‍රධාන මෝටර් වාහන පරීක්ෂක ආර් එම් පී කේ එම් රාතේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සත් පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් විසින් සකස් කළ මෙම වාර්තාවේ අදාළ නිර්දේශ සහ නිගමන සඳහන් කර තිබේ.

මෙම රථයේ අනතුරුදායක අමතර සවිකිරීම් හැර අනෙක් සියලු පද්ධති මනා කාර්මික තත්වයේ තිබී ඇත. පාන්දර 1.00 සිට දුෂ්කර මාර්ගයක රිය පැදවූ නමුත් ප්‍රමාණවත් විවේකයක් නොතිබූ බවත් මෙම රථය අනෙක් රථවලට මිනිත්තු 20ක පමාවක් සිදු වීම මත අනෙක් රථ සමඟ ගමන් කිරීමට වේගය වැඩි කිරීමටත් කෙටි මාර්ගයක් වූ බෑවුම් සහිත කෙටි මාර්ගය තොරා ගන්නට ඇති බවත් මෙම කමිටුව විසින් නිගමනය කර ඇත.

තිරිංග නැති වූ බව රියදුරු දැනුම් දී තිබුණ ද ස්ථානීය පරික්ෂාවේදී වාහනය නවතා ගැනීමට රියදුරු කිසිදු උත්සාහයක් ගෙන නැති බවටත් කමිටුව නිගමනය කර ඇති අතර අනතුරේ මුළු වගකීම බස් රථයේ බවටත් කමිටු වාර්තාව මඟින් දන්වා ඇත.

අධික බෑවුම් සහිත මාර්ගවල ගමන් ගන්නා විට නිවැරදි ගියරය තෝරා ගැනීම, තිරිංග පද්ධතියේ කාර්යක්ෂමතාව අඩුවන අලංකාර නවීකරණ නොකිරීම, උපරිම දර්ශනයක් ඇති වන ලෙස ඉදිරි පැති වීදුරු අවට සීමාව නිදහස් කිරීම, රියදුරුගේ අවධානය යොමු වන රූපවාහිනි යන්ත්‍ර, පිළිම, රූප දර්ශන පථයේ නොතැබීම, පිටාර වායු නොමැති බස් රථ කඳුකර ප්‍රදේශවල ධාවනයේ යෙදවීම සීමා කිරීම, ඉවත් කිරීම, අනාරක්ෂිත මාර්ග හඳුනාගෙන ආරක්ෂක ගැලවුම් මාර්ග ඉදිකිරීම, අනාරක්ෂිත ස්ථානවල ආරක්ෂක වැට වෙනුවට පස් කඳු යෙදීම, අධික බෑවුම් සහිත මාර්ගවල වේග සීමා පාලනයට දැන්වීම් පුවරු යෙදීම, අමතරව ආරක්ෂිත කැමරා යෙදීම, අධික බෑවුම් සහිත මාර්ගවල බරවාහන ධාවනයට ඉඩ නොදීම, මාර්ග ඉදි කිරිමේදී මාර්ගයේ දුරට සාපේක්ෂව ඇති බෑවුම් සැලකිල්ලට ගැනීම, මෙම මාර්ගවල වංගු නිර්මාණය කිරිමේදී කැම්බර් ආතතියට අනුකූලව නිර්මානය කිරීම, මෙවැනි අනතුරුදායක මාර්ගවල ප්‍රමානවත් දර්ශනයක් ලබා දීම සඳහා වීදි ලාම්පු සවි කිරීම, මාර්ගය හොදින් දර්ශනය වන ආකාරයට පැති හා මධ්‍ය රේඛා ලුමිනස් කොටස් සහිත අමු ද්‍රව්‍ය යොදා නිර්මාණය කරමින් පරාවර්ථක සකස් කිරීම ඇතුළු නිර්දේශ 16ක් සහ නිගමන ගණනාවක් මෙම වාර්තාව මඟින් දක්වා ඇත.

Leave a Reply