නව පාසල් වාරයට පාසල් පෙළ පොත් නිසි වේලාවට ලබා දීමට සියලු පියවර ගන්නවා – අධ්‍යාපන අමාත්‍යංශය

ඉන්දීය ණය ආධාර මත ලැබුණු පළමු කඩදාසි තොගය රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලැබී ඇති අතර මේ වන විට පෙළ පොත් මුද්‍රණ කටයුතු සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා ‍පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෙළ පොත් ලබා දීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කර එම පෙළ පොත්වලින් 45%ක් මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ද, 55%ක් පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ද ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව, සුදුසුකම් ලැබූ පෞද්ගලික මුද්‍රණ ආයතන 22කට මේ වනවිට මුද්‍රණ ඇණවුම් බාර දී ගිවිසුම් අත්සන් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත්වී ගිවිසුම්ගත මුදලින් 20%ක අත්තිකාරම් මුදල ද පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත.

මෙම අත්තිකාරම් මුදලින් 50%ක පමණ ප්‍රමාණයක් 2022 වර්ෂයේ ප්‍රතිපාදන මගින් ඉල්ලුම් කළ මුද්‍රණාල වෙත ලබා දීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව, මුද්‍රණය අවසන් කළ පෙළපොත් පෞද්ගලික මුද්‍රණාල කිහිපයකින් ම මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී ඇති අතර මුද්‍රණය කළ තවත් පෙළපොත් තවදුරටත් අධ්‍යාපන අමාත්‍යංශයේ ගබඩාවට ලැබෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඉතිරි අත්තිකාරම් සඳහා අක් මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබූ අතර අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත් වී කළ සාකච්ඡාවෙන් අනතුරුව ඉන් කොටසක් ලබා දීමට මහා භාණ්ඩාරගාරය එකඟතාව පළ කර ඇත.

ඒ අනුව, ඉදිරි සතිය තුළ දී දැනට බිල්පත් ඉදිරිපත් කර ඇති මුද්‍රණාලවල බිල්පත් සඳහා ත් අත්තිකාරම් මුදල්වලින් මුද්‍රණාල සඳහා ගෙවීමට ඉතිරි වී ඇති කොටස සඳහාත් මුදල් ලබා දීමට කටයුතු කරනු ඇත.

පාසල් සිසුන්ට නිසිකලට පෙළපොත් ලබා දීම ප්‍රමුඛ කාර්යක් සේ සලකා කටයුතු කිරිමට අදාළ සියලු පියවර ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

මව්බිම

Leave a Reply