ධාවන වෙමින් තිබු බසයක ටයරයක් පුපුරා මගියෙකුට තුවාල

කොළඹ සිට මාතලේ දක්වා ධාවනය වෙමින් තිබුණු පෞද්ගලික බස් රථයක පිටුපස රෝදය, පුපුරා යෑමෙන් බස් රථයේ තට්ටුව ගැලවී මගියෙක් තුවාල ලබා පෙරේදා (06) කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ජම්බුගහපිටිය පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

කොළඹ සිට මාතලේ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක වම් පිටුපස ටයර් යුගලය උඩ පිහිටා ඇති අසුනේ වාඩිවි මෙම පුද්ගලයා ගමන් කරමින් සිට ඇත. බස් රථය ගලිගමුව නගරය පසුකර අඹන්පිටිය ප්‍රදේශයේදී බස් රථයේ වම් පිටුපස ටයර් යුගලයෙන් එකක් අධික ශබ්දයකින් පුපුරා යෑමෙන් ටයර් යුගලයට ඉහළින් සවිකර ඇති තහඩුව ගැලවී අසුනේ සිටි පුද්ගලයාගේ වම් පාදය බරපතළ ලෙස තුවාල සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply